විපක්‍ෂ නායක සිටී…! ස.ජ.බ. නිවේදනය කරයි !
1 min read
ඊයේ (26) අප විසින් ප්‍රධාන පුවත ලෙස ඵල කරන ලද “22 ගැන ජනාධිපති – විපක්‍ෂ නායක එකඟතාවක” යන්න පිළිබඳව විපක්‍ෂ නායක කාර්යාලය, මාධ්‍ය ඒකකය විසින් විශේෂ නිවේදනයක් ඊයේ පස්වරුවේ නිකුත් කර තිබේ. Lanka Underground News නම සඳහන් කරමින්ම නිකුත් කර තිබෙන එම නිවේදනය මගින් අපගේ පුවත “සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන සුළු” පුවතක් ලෙස හඳුන්වා දී තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන්ව තිබේ.
“….මාධ්‍ය නිවේදනය
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කිසියම් රහසිගත එකඟතාවකට පැමිණ ඇති බවටත්, එම එකඟතාව හේතුවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටීමට තීරණය කර ඇති බවටත් Lanka Underground News වෙබ් අඩවිය විසින් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය, පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන සුළු පුවතක් වේ.
අදාළ පුවතෙහි සඳහන් කර ඇති පරිදි ජනාධිපතිවරයාගේ කිසියම් දූතයෙකු මාර්ගයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසියම් එකඟතාවක් හෝ දැනුම්දීමක් සිදු කර නොමැත. එමෙන්ම, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන ඇති දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග නතර කිරීමට හෝ අත්හිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද සඳහන් කළ යුතුය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නමින් හෝ ඔහුගේ දේශපාලන ස්ථාවරය ලෙස මෙවැනි අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමෙන් ජනතාව නොමඟ යැවීම පමණක් නොව, රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ අනවශ්‍ය සැකයක් සහ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ද ඉඩ තිබේ.
එබැවින්, කිසිදු නිල මූලාශ්‍රයකින් තහවුරු නොකළ “රහසිගත දැනුම්දීම්”, “දේශපාලන එකඟතා” සහ “ආරංචිමාර්ග” මත පදනම් වූ ප්‍රකාශ වගකීමකින් තොර ව ප්‍රචාරය නොකරන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු. එසේ ම මෙම පුවත සත්‍යයක් ලෙස සලකා සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ස්ථාවරය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගත යුත්තේ විපක්ෂ නායකවරයාගේ නිල මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන නිල ප්‍රකාශ සහ නිවේදන මගින් පමණක් බව ද වැඩිදුරටත් අවධාරණය කර සිටින්නෙමු.
මාධ්‍ය ඒකකය
විපක්ෂ නායක කාර්යාලය”
විපක්‍ෂ නායක කාර්යාලය “The Lanka Underground News” පුවත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇතත් අපගේ පුවතේ අන්තර්ගත පහත සඳහන් කොටස විසින් මතු කරන කරුණ සම්පූර්ණයෙන් නොසලකා හැර තිබේ. එම කරුණ මෙයයි.
“….මෙම දැනුම්දීමෙන් පසු, එතෙක් විපක්‍ෂයේ පක්‍ෂ ඒකාබද්ධව 22 ට එරෙහිව ගැනීමට නියමිතව තිබූ ක්‍රියාමාර්ග කිසිවක් ක්‍රියාත්මක නොවන තත්ත්වයට ඇද වැටී තිබේ. 22 ට එරෙහිව දැවැන්ත පා ගමනක නිරතවීමට මීට පෙර ගෙන තිබූ තීරණය ද ඒ අනුව නතර කර තිබේ.”
“….මේ අතර, 22 ට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ කරන සැප්තැම්බර් 5 සිට තමන් සතු ජනබලය ප්‍රදර්ශනය කිරීම පිණිස කළුතර හඳපාන්ගොඩ දී සහ බේරුවල දී ජනරැලි දෙකක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබේ. නඩු විභාගයේ දී ඊට සහභාගීවන විනිසුරුවන්ට, මහජන මතය ඇත්තේ 22 ට පක්‍ෂව බව පෙන්වීම මෙම ජනරැලි පැවැත්වීමේ අරමුණ වී තිබේ. එවන් තත්ත්වයක් තුල විපක්‍ෂය මහජන බලය ප්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීම ජනමත විචාරණයකින් තොරව 22 අනුමත කර ගැනීමේ ස්ථාවරයට අධිකරණය පත් කර ගැනීමේ ජනාධිපතිගේ උවමනාවට වාසිදායක වි තිබේ.”
අපගේ පුවත අසත්‍යනම්, විපක්‍ෂ නායක කාර්යාලය නිකුත් කල නිවේදනය මගින් කිව යුතුව තිබුනේ “මහජන බලය 22 ට එරෙහිව ප්‍රදර්ශනය කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක්” තමන් විසින් නවතා නොමැති බවය. එහෙත් එම නිවේදනයේ එවැන්නක් කොතැනකවත් සඳහන් කර නැත. එබැවින්, විපක්‍ෂ නායක කාර්යාලයේ මාධ්‍ය නිවේදනය මගින් අපගේ පෙර පුවත සත්‍ය බව වක්‍රව පිළිගෙන තිබීම විපක්‍ෂ නායකවරයා පත්ව තිබෙන අදාල පුවත මගින් අප දක්වා ඇති ඉරණම සනාථ කිරීමකි.
- ප්‍රවෘත්ති කර්තෘ Lanka Underground News
