එදා කිව්වේ නාකි රොත්තක් මේ රටක් කනවා කියලා, දැන් කියනවා වයසට යන්න යන්න තමයි පරිණත වෙන්නේ කියලා – විමල් වීරවංශ
1 min read
වත්මන් ආණ්ඩුව විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම තනි පුද්ගලයෙකු තවදුරටත් ධුරයේ තබා ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සිදු කරන සංශෝධනයක් මිස, රටේ අහිංසක මිනිසුන් උසාවි ගානේ රස්තියාදු වීම වැළැක්වීම වෙනුවෙන් සිදු කරන කටයුත්තක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
ඒ අනුව, වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ තුනෙන් දෙකේ බලය, අධිකරණයේ බලය, පොලිසියේ බලය සහ බන්ධනාගාරයේ බලය යන කරුණු මත පදනම්ව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
එම බලතල මඟින් රටක් පාලනය කළ හැකි බවට කවුරුන් හෝ සිතා සිටින්නේ නම් එසේ කළ හැක්කේ ඉතා කෙටි කාලයකට පමණක් බවත්, එලෙස සිතූ සෑම අයෙකුටම මුහුණ දීමට සිදු වූයේ ඉතා භයානක ඛේදනීය තත්ත්වයකට බවත් ඔහු ප්‍රකාශ කර කළා.
වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේදී ‘නාකි රොත්තක්’ මේ රට විනාශ කරන බවට ප්‍රකාශ කළ ද, බලයට පත්වීමෙන් පසු හිටිහැටියේම වයසට යන විට පරිණතවන බව පැවසීමට පටන් ගෙන ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තවදුරටත් කියා සිටියේ ය.
