September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බල්ලන්ගෙ බද්ද

1 min read

බටහිර රටවල මෙන් සතුන් “පාරිභෝගික භාණ්ඩයක්” හෝ හුදෙක් “කෙළි බඩුවක්” ලෙස දැකීමට වඩා, අප සංස්කෘතිය තුළ පුරුදු කර ඇත්තේ සතුන් කෙරෙහි ආත්මීය සහ සහකම්පනීය බැඳීමකි.

අපගේ පැරැන්නන් කල්පනා කළේ තමන්ගේ නිවසට පැමිණෙන බල්ලා හෝ බළලා පෙර ආත්මයක තමන්ගේ ඥාතියකු හෝ හිතවතෙකු වී සිටි අයකු බවය. සිංහල ගැමියා සතෙකු තමන් සොයා පැමිණි විට ඌව පලවා නොහැර රැකබලා ගැනීමට පෙළඹුණේ ඒ නිසාය.

විශේෂයෙන්ම බල්ලා පිළිබඳ අප සලකන්නේ “කෘතගුණ දන්නා” සතෙකු වශයෙන් ය. “කෑ බතේ හිලට බුරනවා” යන ගැමි ප්‍රස්ථා පිරුලෙන් කියැවෙන්නේ ද ඒ බවය.

පැරණි ගැමියන් මී හරකාට කීවේ, “කළු වස්සා” හෝ “කුඹුරේ මස්සිනා” කියාය. අස්වැන්න නෙළා ගත් පසු මුල්ම බත්පත (අලුත් සහල් මංගල්‍යයේ දී) හරකුන්ට කැවීම ඇතැම් පළාත්වල සිරිතක් විය. කුඹුරු වැඩ අවසන් වීමන් පසු උන්ව නිදහසේ තණකොළ කෑමට වනයට මුදා හැරියේ ද “කළගුණ සැලකීමක්” ලෙසය.

පැරණි වැදි සමාජයේ පැවැති “බදු පංගුව” ද මේ හා සමාන කතාවක් ය. දඩයම සාර්ථක කර ගැනීමට උදවුවන බල්ලාට දඩයමෙන් පසු ලැබෙන හොඳම මස් කොටස වෙන් කිරීම සිරිතක්ව පැවතියේ ය. එය හැඳින්වූයේ “බලු පංගුව” කියාය.

ගැමියන් වනාන්තර අද්දර ජීවත් වූවද වන සතුන් සමඟ අනවශ්‍ය ගැටුම් ඇති කර ගත්තේ නැත. ඔවුන් අතර පැවැතියේ නොලියැවුණු සාමකාමී අවබෝධතා ගිවසුමක් ය. කුඹුරේ අස්වැන්න කපාගෙන ගන්නා විට, වත්තේ භෝග නෙලන විට, සතුන් වෙනුවෙන් කොටසක් ගස්වල හෝ බිම ඉතිරි කිරීම සිරිත පැවැතියේ මේ සාමකාමී සහජීවනය හේතුකොටගෙන ය. කැලයට යන ගැමියා, කැලයේ සිටින සත්තු හැඳින්වූයේ “කැලේ බාර දෙවියන්ගේ සත්තු” කියාය.

ජනප්‍රිය පුවත්  රුපියල

වැහිලෙහෙනා හඬලන විට වැස්ස ලඟ එන බව සහජ ඥානය අපේ පැරැන්නන් සතුවූ විය. කිරලා බිත්තර දමන ස්ථානය අනුව ගංවතුර ගලනවා ද නැද්ද යන වග පැරැන්නෝ තීරණය කළහ. බල්ලාගේ රෑට උඩු බිරීම ද ඔවුන් වටහා ගත්තේ ගමට පැමිණෙන ලෙඩ රෝග හෝ නපුරු බලපෑම් පිළිබඳ අනතුරු හැඟවීමක් ලෙසය. ස්වභාවධර්මයේ තමන් හා සමානව අයිතිවාසිකම් ඇති තවත් කොටස්කරුවෙක් ලෙස සතුන් දෙස බැලීමට අපට හැකි වූයේ බුදු දහමෙන් ලද අසමසම සංස්කෘතිය නිසාය. පංචශීලයේ දැක්වෙන ප්‍රාණඝාතනයෙන් වැලකීමේ ශික්ෂාපදය අපේ සංස්කෘතියට බද්ධ නොවූයේනම්, මේ කතාව මීට වඩා වෙනස් විය හැකිය.

බටහිර රටවල මෙන් සතුන් සඳහාම නිෂ්පාදනය කළ කෑම (Pet Food) දීමේ සම්ප්‍රදායක් මෑතක් වනතුරුම අපට තිබුණේ නැත. නිවසේ උයන බත් මාළු පිනි වලින් කොටසක් සතුන්ට වෙන් කිරීම අපේ සිරිත ය. “සතුන්ටත් එක්කයි බත් උයන්නේ” යන කියමන අදටත් අපේ නිවාසවලින් ඇසෙන්නේ ඒ හින්දා ය. පරාර්ථකාමීත්වය අපට උරුම කෙරුණේ ඒ අන්දමේ භාවිතයන් මගින් ය.

ලංකාවේ බල්ලකුට නිවසක හිමිවන ස්ථානය ද සුවිශේෂී වී ඇත්තේ මේ නිසාය. ඌ හුදෙක් ගේ මුර කරන්නෙකු පමණක් නොවේ. මෙරට දී ඌ පවුලේම කොටසක් ය. මේ සියලු දේ අතර බල්ලාට ද “බලුවැඩ” කරන වුන් ඇත්තේම නැතැයි අප කියන්නේ නැත.

ජනප්‍රිය පුවත්  හුළං….?

බදු බරින් පොදු ජනතාව බේරාගැනීමේ පොරොන්දුව දී බලයට පැමිණි අනුර කුමරුගේ ආණ්ඩුව දැන් ලක ලෑස්ති වන්නේ පට්ට “බලු වැඩක්” සිදුකිරීමට ය. එනම්, නිවාස තුළ ඇති කරන බල්ලන් වසරකට වරක් ලියාපදිංචි කර, ඒ සඳහා වූ ගාස්තුව ගෙවන ක්‍රමයක් ඇති කිරීමට යාමය. ලියාපදිංචි ගාස්තුයැයි කීවාට මෙය “වහෙන් ඔරෝ” භාෂාවෙන් ගසනු ලබන බලු බද්දක් ය.

බල්ලන් සඳහා බදු ගහන පුරුද්ද බහුලව දැකිය හැක්කේ යුරෝපා රටවල ය. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය හඳුන්වන්නේ “Dog Tax” කියාය. ජර්මාණු භාෂාවෙන් එය හඳුන්වන්නේ “Hundesteur” යනුවෙන් ය. ජර්මනියේ බර්ලින් නුවර වාසය කරන අයකු සිය පළමු බල්ලා සඳහා වසරකට යූරෝ 120 ක් (රුපියල් 40,000 කට ආසන්න) පමණ ගෙවිය යුතුය. දෙවැනි බල්ලාගේ සිට එම මුදල තවත් වැඩිය. සටන්කාමී හෝ ආක්‍රමණශීලී ලෙස සැලකෙන බල්ලකු වේ නම්, අප ඉහත කී මුදල මෙන් 8 ගුණයක් වැඩි බදු මුදලක් ගෙවිය යුතුය.

ස්විට්සර්ලන්තයේ බල්ලාගේ බදු මුදල තීරණය කරන්නේ උගේ ප්‍රමාණය සහ බර අනුව ය. නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව සහ ලක්සම්බර්ග් වැනි රටවල ද මේ බලු බද්ද අය කරන්නේ ය.

එහෙත්, ඇමරිකාව, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල බල්ලන් ඇති කිරීම සඳහා වාර්ෂිකව බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුය. ලංකාවේ ද මේ “බලු වැඩේ” ආණ්ඩුව කරන්නට යන්නේ ඇමරිකාව, කැනඩාව හා ඕස්ට්‍රේලියාවේ ක්‍රමයට ය. බලු බද්ද අය කරන සෑම රටක්ම ආර්ථිකමය වශයෙන් සිටින්නේ ලංකාව වඩා බොහෝ ඉදිරියෙන් ය. එම රටවල මිනිසුන්ගේ ආදායම් මට්ටම හා සසඳන විට, අපේ රටේ බහුතරයක් ඉන්නේ ඒ අතින් බොහෝ පහල ය. දැනටමත් අප මත පටවා තිබෙන සෘජු හා වක්‍ර බඩු බර ඇත්තේ දරාගත නොහැකි මට්ටමටත් වඩා වැඩියෙන් ය. අපේ ජීවිත තත්ත්වය අද ඇත්තේ ඉතියෝපියාවටත් වඩා යටින් ය. එහෙත් ආණ්ඩුව “බලු බද්ද” ගහන්නට හදන්නේ යුරෝපයේ ක්‍රමයට ය. බදු ගැහීම අතින්වත්, අපි ඒ දියුණු රටවල ගානට වැටෙන එක ගැන එක අතකින් සිතට දැනෙන්නේ සතුටක් ය.

ජනප්‍රිය පුවත්  කොමිෂම් සහ "ත්‍රි සම්"

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හැදෙන බව හිතෙන්නේ ඒ වෙලාවට ය. අවසානයේ දී අපට අහන්නට ඇත්තේ මෙච්චර ය.

“ගමේ ගෙදරකට සෙනෙහේ පපා සිටි…
බලු කුක්කට මොන බදු ද අනේ…
තනේ තියෙන කිරි ටිකටත් බද්දක්…
ගෙවන්න වේවිද නුදුරු දිනේ…”

මේ ගීතයට අදාළ වූයේ ඉංග්‍රිසින්ගේ ආණ්ඩුවට ය. අද මෙය අදාළවන්නේ පරංගින්ගේ ආණ්ඩුවට ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x