July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අද අපේ මාතෘකාව “හුළං” ගැනය. නිකම්ම නිකන් “හුළං” ගැන නොවේ. ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති දුමින්ද හුළංගමුව නැමැති “හුළං” ගැනය.

අප පොඩි කාලේ දැන සිටියේ “හුළං ඉස්කෝතු” ගැනය. නොමැති නම් “හුළං විස්කෝතු” ගැනය. අපේ රටේ බේකරි සංස්කෘතිය තුළ තේ බොන වෙලාවට නැතුවම බැරි පැරණි සම්ප්‍රදායික බිස්කට් එක බවට පත්වූයේ “හුළං ඉස්කෝතුව ය. ඉංග්‍රීසි භාෂාවෙන් මේවා හඳුන්වන්නේ “Tea Rusks” යන නමින් ය.

දුමින්ද හුළංගමුව ද අපටනම් පෙනෙන්නේ “හුළං ඉස්කෝතුවක්” වගේ කියාය. නොමැතිනම් “Tea Rusks” එකක් වගේ කියාය. අපට එහෙම හිතෙන්නේ නිකමට නොවේය. ඒකට ඇත්තේ ගොඩක් හේතුය.

රනිල්ගේ කාලේ (2022-2024) මේ හුළං හිටියේ “විශේෂ ව්‍යාපාරික උපදේශක කමිටුවේ” ය. එය පත්කළේ රනිල් ය. රාජ්‍ය සේවක වැටුප් සමාලෝචන කමිටුවේ ද මේ “හුළං” එකල නියෝජනය වුණේය. ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ “රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ” (SOE) යට ද සහය දැක්වූයේ මේ “හුළං” ය. රනිල්ගේ කාලයේ IMF සමග වූ සාකච්ඡාවලට ද “හුළං” හිටියේය. ඒ පෞද්ගලික අංශය සහ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් ය.

ගෝඨාගේ කාලයේ හෙවත් “කොරෝනා කාලේ” ආලේ තිබූනෙත් මේ “හුළං” එක්කය. ඒ කියන්නේ 2019 සහ 2022 අතර කාලේ ගැනය. ඒ කාලයේ බදු ක්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා බාහිර විශේෂඥයෙකු ලෙස උපදෙස් සපයන ලද්දේ ද මේ “හුළං” ය. මෛත්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ කාලයේ ද ලංකා වාණිජ මණ්ඩල හරහා හැමුවේ මේ “හුළං” ය. මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ කාලයේ ද ලංකා වාණිජ මණ්ඩලය හරහා මේ “හුළං” ගෙන් විවිධ උපදෙස් ලබාගෙන තිබෙන බව කියා තිබෙන්නේ වෙනින් කවුරුවත් නොව ඕන තැනකට හමාගෙන යන මේ “හුළං” ය.

ජනප්‍රිය පුවත්  පාතාල ප්‍රවර්ධනය

දැන් මේ “හුළං” ලාංකීය නිර්ධන පංති ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණේ (ඒකෙත් බොල්ෂෙවික් ද වූ !) නායක ජනාධිපති වී සිටින ආණ්ඩුවේ ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයා වී ඇත්තේය. ලාංකීය නිර්ධන පංති ව්‍යාපාරයේ ආණ්ඩුවක් යටතේ ආයෝජන මණ්ඩලයේ සභාපති වී සිටින්නේද මේ “හුළං” ය. හිතාගෙන ගියාම “හුළං” කියන්නෙත් “වලං ශානි” වගේම පට්ට පොරක් ය.

“හුළං” අවුරුදු 40 ක්ම සේවය කළේ හා තවමත් අනියමින් සේවය කරන්නේ “අර්නස්ට් ඇන්ඩ් යන්ග්” නැමැති ගිණුම්කරණ සමාගමේ “කන්ට්‍රි මැනේජරින් පාට්නර්” හෙවත් “දේශීය කළමනාකාර හවුල්කරු” ලෙසය.

රුපියල් බිලියන 13 කට වැඩිය රටින් එළියට ඇද්ද NDB බැංකුවේ විගණනය බාරව සිටියේ “හුළං” ගේ “අර්නස්ට් ඇන්ඩ් යන්ග්” සමාගම ය. ආණ්ඩුවේ බොහෝ වාණිජ ආයතනවල විගණනය “අර්නස්ට් ඇන්ඩ් යන්ග්” ආයතනයට ලබාගැනීමට “හුළං” හරි දක්ෂය. ඒකට කියන්නේ වෘත්තීය දක්ෂතාවය කියාය. නොමැතිව, ලබැදියාවන් අතර ගැටුමක් කියා නොවේය.

නව ලිබරල්වාදී ආර්ථිකයක් පවත්වාගෙන යාම වෙනුවෙන් මිස, වෙනත් අන් කවර වැඩකටවත් මේ “හුළං” ලා අදාළ වන්නේ නැත. එහෙත්, ලංකාවේ නිර්ධන පන්ති ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර නැමැති “බොල්-ෂෙවිකයා” ට “හුළං” නැතුව ආර්ථිකය ගැන හිතන්නටවත් බැරිය.

“හුළං” ලා උපදෙස් දෙන්නේ “කොම්ප්‍රදෝරු ධනපතියා” රකින්නට ය. ඔවුන්ට අවශ්‍ය භාහිර සාධක මත යැපෙන, ඊට ගැති කොම්ප්‍රදෝරු ධනපතියා මිස, අඩුම තරමේ මෙරට මත යැපෙන නිෂ්පාදන ධනපතියාවත් නොවේ. ලාංකික නිර්ධන පන්ති ව්‍යාපාරයේ බොල්-ෂෙවික් නායක අනුර කුමාර ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයා වන්නේ එහෙවු “හුළං” ය.

මෙහෙවු “හුළං” ලාට ඕන අතකට නැමිය හැකිය. හරියටම හිතුවොත් මේ උන්දැලා ද “හුළං ඉස්කෝතු” වගේමය. “හුළං ඉස්කෝතු” ද බිඳක් කෑ විට කට තුළ දී ඉක්මනින් දිය වී යන්නේ ය. බරින් ඉතා සැහැල්ලු ය. ඇතුළත ඇත්තේ සිදුරු සහිත (Air) ස්වාභාවයක් නිසා ගැමියන් මේවාට කීවේ “හුළං ඉස්කෝතු” කියාය. මේ “හුළං” ගේ ද ඇතුලත ඇත්තේ සිදුරු සහිත (Air) ස්වභාවයක් ය. ඒ දෙකේ වෙනසක් ඇත්තේම නැත්තේ ය.

ජනප්‍රිය පුවත්  අඳබාල බලය

මේ අන්දමින් “හුළං” ලා ජ්‍යෙෂ්ඨ උපදේශක බවට පත්කරගන්නා ජනාධිපති අනුර කුමාරගේ “බොල්ෂෙවික්” ආණ්ඩුව “හුළගට අහුවුණ කඩමල්ලක් වගේ” වී තිබීම පුදුමයට කරුණක් නොවේය. මේ “හුළං” ලා පුරුදුව ඇත්තේ “හුළං ආ අතට රුවල් අල්ලන්නට” ය. ඒ කියන්නේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය තමන් වෙනුවෙන් ලබාගන්නට ය.

මේ “හුළං” ලාගේ ප්‍රධාන හැකියාව වන්නේ “ගහ දන්න මිනිහාට කොළ කඩා පෑම” ය. එහෙත් ජනාධිපති අනුර දන්නා ගහක් නැති නිසා මේ “හුළං” ලාට අමුතුවෙන් කඩාපාන්න කොළයක් ද නැත්තේ ය.

ජනවහරේ කියන්නේ “වැස්සකට අහුවුනත් හුළඟකට අහුවෙන්න එපා” කියාය. මේ ජනාධිපති ඉන්නේ නව ලිබරල්වාදී “හුළං” ලාට අහු වී ඔවුන්ගේ සාක්කුවේ ය. ඒ නිසා වෙන්නේ “හුළඟට පිදුරු අල්ලනවා වගේ” වැඩය. කිසිදු ඵලක් නැති, නිෂ්ඵල හා තේරුමක් නොමැති වැඩය.

මේ අන්දමට මේ “හුළං” ලා මත මීට පෙර සිටි ධනපති නායකයන්වත් මෙච්චර යැපුනේ නැත. තඹුත්තේගම අනුර කුමාරට මේ “හුළං” ලා තරම් පට්ට වැඩ්ඩෝ පේනතෙක් මානයක පෙනෙන්නටවත් ඇත්තේ නැත.

දැන් ලෝකයේ “හුළං” හමන්නේ පෙරදිගට ය. බටහිර දැන් ඉන්නේ හද්ද අමාරුවෙන්ය. ඉරානය කළේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලය මිලිටරිමය වශයෙන් “නෝන්ඩි” කිරීම ය. ආර්ථික හා තාක්ෂණික ආදී බහුවිද අර්ථයෙන්, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර දැන් ඉන්නේ චීනය හා රුසියාව හමුවේ පට්ට පදිරි වෙලාය. එහෙවු කාලයක, ජ.වි.පෙ. යනු සැබෑ නිර්ධන පන්ති ව්‍යාපාරය වේ නම් හිටගත යුත්තේ, ඒ බල කඳවුරත් සමඟය. එහෙම හිටගත්තේනම් ජනාධිපති අනුරට හමුවන්නේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ලෙස “හුළං” ලා නොවේය. ඒ වෙනුවට හමුවන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකලස්ලා ය. ඒ ගුරු කුලයේ දේශීය බුද්ධිමතුන් ය.

ජනප්‍රිය පුවත්  රංග දිසානායක කතා වස්තුව II

“හුළං” ලා අයත් වන්නේ, අභාවයට යන බටහිර “අශිෂ්ඨ ධනවාදය” ට ය. මේ “අශිෂ්ඨ ධනවාදය” සොයා යන්නේ මළකුණු ය. මොවුන් අයත් වන්නේ “ගිජුලිහිණියන්” ගේ ගණයට ය. අපගේ පෙර ප්‍රධාන පුවතකින් අණාවරණය කරන ලද පරිදි “කොවිඩ් වසංගතය” නිපදවූයේ ඇමරිකා එක්සත් ජනපද සල්ලි වලින්ය. එයින් ලාභ ඉපයීම හඳුන්වන්නට වෙන්නේ “අශිෂ්ඨ ධනවාදය” කියාය. ශ්‍රී ලංකාවේ එකම නිර්ධන පන්ති ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර සහෝදරයා දැන් ලැගගෙන සිටින්නේ එම “අශිෂ්ඨ ධනවාදය” සමග එකට ය. එමගින් නිර්ධන පන්තියට ලැබෙන විමුක්තියක් නැත. ජාතියට හෝ රාජ්‍යයට ලැබෙන විමුක්තියක් නැත. ලැබෙන්නේ, රාජ්‍ය සේවකයාට ගුල්ලො ගහපු හාල් කිලෝ විස්සක්ය. කුණු ටිකවත් කළමනාකරණය කරගත නොහැකිව “ඩෙංගු” අධි-වසංගත තත්ත්වයට උස්සන පට්ට රටක් ය. රුපියල අම්බානකට කඩාවැටෙන පොහොසත් රටක් ය. ලෙඩෙකුට බොන්න බෙහෙතක් නැති ලස්සන ජීවිතයක් ය. කුණු ගඳ ගහන අගනුවරක් ය.

ඒ, ඉතින් නිර්ධන පන්ති ව්‍යාපාරය හිතන නිර්ධන පන්තියට ගැලපෙන රට ය. අපට කියන්නට ඇත්තේ “හොරු” අල්ලන චිත්‍රපටිය බලන ගමන්, අර කියන ඒවාට ද අත්පොළසන් නැගීම නිර්ධන පන්තියේ අව්‍යාජ පන්ති වගකීම වන බවය.

“හුළං” ලා සමඟ හැමිනුන “අශිෂ්ඨ ධනවාදය” නිර්ධන පන්තියේ මේ යුගයේ උරුමය ය. සහෝදරවරුනි !, හිනාවිය යුත්තේ කොතැනින් ද ?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x