වැටුන රට බෙදන හැටි
1 min read
රට ඇත්තේ ආර්ථිකමය වශයෙන් වැටිලා ය. වැටිලා තිබෙන රට ආර්ථිකමය වශයෙන් ගොඩගන්නා විශේෂිත මෙහෙයුමක් අප ඉදිරිපිට දක්නට නැත. එහෙත්, වෙනත් විශේෂිත මෙහෙයුම්නම් වෙන වෙනම ක්‍රියාත්මකව තිබේ. කරන්න හදන දේ හරියට වැටහෙන්නේ මේ වෙන වෙනම පෙනෙන මෙහෙයුම් එකට ගෙන කියවා ගත් කලය. අප අද මඟපෙන්වන්නේ ඒ වෙනුවෙන් ය.
මෙහිලා දක්නට ඇති පළමු මෙහෙයුම වන්නේ “හොරු” ඇල්ලීමය. මෙතෙක් මේ රට පාලනය කර ඇත්තේ අන්ත දූෂිත හැත්තක්ය යන ආක්‍යානය බලගන්වා ඒ කළුම කළු උන්ට වඩා මාලිමාවෝ සුදු බව පෙන්වීම ඒ මෙහෙයුමේ ඇති එක අරුතක්ය. එහෙත් ඒ මෙහෙයුම හිටපු ඇමතිවරුන් වන රිෂාඩ් බදුර්ධීන්ට, රාවුෆ් හකීම්ට, දිගම්බරම්ට, ජීවන් තොණ්ඩමන්ට බලපාන්නේ නැත. ඒ මෙහෙයුම අදාල වන්නේ සිංහල ජන සමාජය තුළින් පැන නැගුන දේශපාලන චරිත වලටය.
ඒ අනුව, රාජ්‍යයේ ඒකීයත්වය, ආරක්ෂාව හා ඓතිහාසික උරුමය ගැන කතා කරනවුන් මේ බිමෙන් අතුගා දැමීම මේ “හොරු ඇල්ලීමේ” මෙහෙයුමේ සැඟවුණු ඇත්තය. එය එසේ නොවන බව පෙන්වීමට අදාළ වන පමනට එවැනි අනන්‍යතාවක් හිමිකර ගෙන නොමැති වුන් කීප දෙනෙකුද ඉඳහිට උසාවියට රැගෙන යන්නේය.
අප මේ කියන කතාව සනාථ කරන එක නිදසුනක් වන්නේ රවී කරුණානායකය. 2015 සහ 2019 කාලසීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගන්නා ලද නිලධාරින් තිදෙනකු එම ආයතනයේ සේවය සඳහා නොයොදවා එවකට අමාත්‍ය රවී කරුණානායකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය සඳහා යොදවා තිබීමට අදාළව එවකට ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂම විසින් අත්අඩංගුවට ගත්තේ 2026 ජුනි මස 29 වනදා ය. එදිනම අධිකරණය හමුවට පමුණුවන ලද ශ්‍යාමිලා අන් අයට වඩා බොහෝ වාසනාවන්ත වූයේ එදිනම ඇප ලැබීම හේතුකොටගෙනය.
පොදු දේපළ පනත සහ අල්ලස් පනත යටතේ, රාජ්‍ය ප්‍රතිපාදන වංචා කිරීම යන චෝදනාව ද ඇය වෙත එල්ල වී තිබුනත්, රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් වැළකී සිටීමට ඇයට හැකි වූයේ කෙසේද? මේ වන තුරු මේ චෝදනාවන්ට අදාළ හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් ප්‍රශ්න කිරීමක් හෝ සිදුකර නැත. ඒ වාසනාව කරුණානායකට හිමිවන්නේ කුමන බලපෑමක් මත ද?
අනෙක් අතට මෑත ඉතිහාසය කිලිටි කරලූ ප්‍රධාන පෙලේ හොරකමක් වූයේ කුප්‍රකට බැඳුම්කර හොරකමය. එයට අදාළව අර්ජුන මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්වා ගැනීමට මේ හොරු අල්ලන ආණ්ඩුව කිසිවක් සිදුකර නැත. අර්ජුන් ඉන්නේ “ෂැපට ෂැපේ” සිංගප්පූරුවට වීය. ඒ හොරකමට අදාළ මෙහෙයුමේ සෙසු චූදිතයන් වූයේ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක හා මලික් සමරවික්‍රම ය. ඒ තුන්දෙනාට ද ඒ සම්බන්ධව කිසිදු “අගතියක්” මේ හොරු අල්ලන ආණ්ඩුවෙන් මේ වනතුරුම සිදු වී නැත. ඒ කුමන අසිරිමත් හේතුවක් මත ද? මේ වූ කලී උදාහරණ 2 ක් පමණී. දඩයම අදාළ වන්නේ රට දැය සමය ගැන යම්තමින් හෝ නැඹුරුව හිතන සහ එවැනි භාවිතාවක් තිබූ දේශපාලනඥයන්ට අදාළව පමණි.
ඊට වෙනස් මොනවා හරි වෙන්නේ, ඒ බව අමුවට එළියට පේන එක වලක්වාගැනීමේ පමණට ය.
ඒ අප ඉදිරිපිට වන ආණ්ඩුවේ එක් ප්‍රධාන මෙහෙයුමක් ගැන අපේ කියැවීමය.
ඊළඟ මෙහෙයුම ක්‍රියාත්මකව ඇත්තේ උතුරට හා නැගෙනහිර භූමිය පදනම් කරගෙනය.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය ජනාධිපති අනුර කුමාර යටතේ බරටම කාර්යක්ෂමය. චෙම්මනී මිනීවල පමණක් නොව තවත් එවැනි මිනීවලවල් තුනක් ලහි ලහියේ හාරන්නට එම කාර්යාලය දැනටම වැඩ පටන්ගෙනය. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඒ ගැන හොයන්න නිතර නිතර යන්නේ උතුරට ය. යුද්ධයෙන් ජයගත් කිසිවකු නැතැයි පවසමින් ඉතිරි වලවල් ද හාරා සාධාරණය ඉටු කරන්න ඔහු පොරොන්දු වෙන්නේ සොවින් බර වීය.
ඒ අතරතුර උතුරේ හමුදා කඳවුරු තවදුරටත් ඉවත් කරන්න ජනාධිපති පාර්ලිමේන්තුවටම පැමිණ නියෝග කරන්නේය. එය කරන්නට කියන්නේ ඉඩම් නිදහස්කර ගැනීම පිණිස ය. ඊට සමගාමීව උතුරේ පන්සල් සහ හමුදා කඳවුරු සහිත භූමීන් තුළ සමූහ මිනීවලවල් ඇතැයි උතුරේ දේශපාලනඥයන් ලොවට පවසන්නේය. පන්සල් හා හමුදා කඳවුරු ඉදිරිපිට වන විරෝධතා ද දැන් කවදාටත් වඩා වැඩිය.
ඒ එක්කම මහවැලි අධිකාරිය ද අහෝසි කිරීමට නියමිත රාජ්‍ය ආයතනයක් බවට නම්කර ඇත. එයින් කියැවෙන්නේ එය සතු උතුර හා නැගෙනහිරවන මහවැලි ඉඩම්, ඉන් පසු ප්‍රාදේශීය ලේකම් අතට පත්වන බවය. පුරාවිද්‍යා පනත ද අහෝසි කර දියාරු ජාතික උරුම පනතක් ගෙනෙන්නට යන්නේ උතුරේ හා නැගෙනහිර වන පුරාවිද්‍යා ඉඩම් ද ගිලගන්නටය. ජාතික උරුම පනත යටතේ කරන්නට යන්නේ ජාතික උරුමය පළාත් විෂයක් බවට පත් කිරීමය. එවිට, උතුරට ඇති පුරාවිද්‍යා හා නැගෙනහිරට ඇති පුරාවිද්‍යාව තීරණය කරන්නේ ඔවුනට ඕන හැටියටය.
අත තබන්නට යන අනෙක් පනත වන්නේ විහාර දේවාලගම් පනතය. එම පනත යටතට ගැනෙන බොහෝ ඉඩම් උතුර හා නැගෙනහිර දෙපළාත තුළ ඇත්තේය. ඒ පනත දියාරු කළ විට ඒ කරදරයෙන් ද උතුරට හා නැගෙනහිරට නිදහස් විය හැකිය.
ලෝක බැංකුව “උතුරු නැගෙනහිර” සංවර්ධනයට ණය දෙන්නේ කහනවාට නොවේය. එය උතුරු හා නැගෙනහිර නොවී “උතුරු නැගෙනහිර” වී ඇත්තෙත් නිකමට නොවේය.
ඊළඟට වන්නේ උතුර හා නැගෙනහිර පළාත්වල පමණක් පළාත් සභා ඡන්ද පැවැත්වීමය. මහ ඇමතිට ඕන කරන ආණ්ඩුකාරයා ජනාධිපති විසින් පත්කිරීමය. ඒ අතරතුර මහවැලිය අහෝසි වී ඇත. පුරාවිද්‍යාව පළාත් විෂයක් බවට පත් කර ඇත. විහාර හා දේවාලගම් පනත ද දියාරු කර ඇත. පළාත් සභාවට ඇත්තේ රිසි සේ ඉඩම් ප්‍රඥාප්ති, මුදල් ප්‍රඥාප්ති, පොලිස් ප්‍රඥාප්ති සම්මත කරගැනුමය. මහ ඇමතිගෙ රූකඩ ආණ්ඩුකාරයා ඒ සියල්ලට අත්සන් තබන ලද විට ඒවා ඒ පළාත්වල නීති බවට පත්වන්නේය. ඒ නීති මේ නීති අතර ගැටුම එන්නේ ඒ සමගය. ඉතිරි වී ඇති හමුදා කඳවුරු ද හකුලා ගන්නට වෙන්නේ ඉන් පසුවය. එවිට එම පළාත් පූර්ණ ලෙස ශ්‍රී ලංකා මිල්ටරි බලයෙන් මුක්ත වනු ඇත. ඉන්දියාව මේ දෙපළාත ආර්ථික වශයෙන් නඩත්තු කරනු ඇත. ඒ, කන්කසන්තුරේ වරායෙන් ගොඩබාන ඉන්දියන් ආහාර, ඖෂධ ආදී සියල්ලෙන්ය. ඒවායේ මිල, ඒවායේ කොළඹ මිලට වඩා බොහෝ සේ අඩුය.
මෙලෙස බොහෝ දෙයින් ස්වෛරී වූ පසු ඊළඟට පවතින්නේ උතුර හා නැගෙනහිර එක් කිරීමේ ජනමත විමසුමය. දැනටම දෙමළ භාෂාව කතා කරන පක්ෂ එකට එකතු කර ඇත්තේ අනාගතයේ එන ඒ වැඩේට ගැලපෙන පරිදිය. ඉතියෝපියාවෙන් එරිත්‍රියාව කැඩුවේද එරිත්‍රියාවට අයත් භූමිය තුළ පැවති ජනමත විචාරණයකින්ය. පළාත් දෙක එකට ඒකාබද්ධවීම මෙන්ම, ශ්‍රී ලංකා රජයෙන් වෙන්වීම ද මේ ජනමත විචාරණය මගින් තීරණය කිරීමට නියමිතය. ජාත්‍යන්තරය එය පිළිගත් පසු එතැන බිහිවන්නේ ඉන්දියාවට නතු ස්වයං පාලනයක්ය. “කච්චතිවු” දූපත ගැන නවදිල්ලිය වද නොවෙන්නේ උතුරු හා නැගෙනහිරම තම කුඩය යටතට ගැනීමේ හැකියාව පෙනෙන නිසාය.
මේ අවසාන ඉරණම කරා රාජ්‍යය රැගෙන යාමේ දී රට දැය සමය කෙරෙහි සංවේදී දේශපාලන ක්‍රියාකාරීන්, නියමුවන් සිටිය යුත්තේ සිරගතවය. ඒකට උවමනා දේවගැති සූරසේනය. කවුරු විරුද්ද වූවත් 22 ජනමතවිචාරණ නොමැතිව 2/3 ක බලයෙන් සම්මත කරගන්නට දත කන්නේ ඒ නිසාය. සලේලාව රැඳවුම් නියෝග ගසා වද බන්ධනයට ලක් කරන්නේ ද රාජ්‍ය හමුදාව මානසිකව වට්ටන්නට ය. ඒ වෙලාවට තිබිය යුත්තේ නමට හමුදාවක්ය. මේ කරමින් ඉන්නේ ඒ නමට හමුදාව හැදීමය.
කොටි සංවිධානයේ ජාත්‍යන්තර පෙරමුණ වූ ඩයස්පෝරාව අනුර ජනාධිපති ගැන සතුටෙන් සිටින්නේ යටින් යන වැඩේ ගැන හොඳටම දන්නා නිසාය.
ආර්ථික වශයෙන් වැටුනු රට, දේශපාලන වශයෙන් දෙකඩ කිරීම සිදුකරගෙන යන්නේ මේ අයුරින්ය. මේ තිත්ත ඇත්ත පිළිගන්නා “ජාතියේ මනස” මරාදැමීම කලාවට බාරය. අනාගමිකයන්ට බාරය. ශාසනයට ගසා කුඩුපට්ටම් කිරීම ද මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමේ පූර්ව කොන්දේසියක්ය. සිංහල බෞද්ධයාගේ සාමූහික හෘදය සාක්ෂිය බිඳදැමීම, සිංහල බෞද්ධයා සහ සිංහල කතෝලිකයාව ද එකිනෙකට සතුරු කරවීම (කාදිනල් දැනට කරමින් ඉන්නේ ඒකය) මේ මෙහෙයුමේම කොටසක්ය. තම ජාතියට, ආගමට පක්ෂව කතා කිරීම සිංහලයාට පමනක් භයානක අපරාධයක් බවට පත්කොට තිබෙන්නේ මේ මෙහෙයුමට අනුවය.
මේ බව වටහා නොගන්නා සැමට අප යෝජනා කරන්නේ අනාගතයේ කියැවීම සඳහා පමණක් මේ සටහන ළඟ තබා ගන්නා මෙන්ය. සෙසු සැවොම මේ මෙහෙයුම පැරදවීමට වහා පෙළගැසිය යුතුය. ඒ හැර අන් මඟක් නැත !
