කොමිෂම් සහ “ත්‍රි සම්”
1 min read
විශ්වාසභංගය අවසන් වූ බව ඉමහත් විශ්වාසයෙන් යුතුව පැවසිය හැක. එය අවසන් වූයේ බලශක්ති අමාත්‍ය කුමාර ගැන තිබූ අවිශ්වාසය ආණ්ඩුවේ සියලු දෙනා කෙරෙහිම බලපාන පරිදි බව ඒ තරමටම විශ්වාසයෙන් කිව හැකිය. දැන් “උඹේ කටෙත් ගල් අඟුරු – මගේ කටෙත් ගල් අඟුරු” තත්ත්වයට ආණ්ඩුව අනාගෙන අවසන්ය.
ආණ්ඩුව දැන් දාන්නේ කොමිසමක් ය. නිකන් කොමිසමක් නොව, ජනාධිපති කොමිසමක්ය. එලෙසින්ම විශේෂ බලතල සහිත කොමිෂමක් ය. ඒ කොමිෂමෙන් ගලවන්නට යන්නේ ඇමති කුමාරගේ කලිසම නොවේ; 2009 සිට ගල් අඟුරු ගෙන්වූ ඇමතිලා සියල්ලන්ගේම කලිසම්ය. ළඟ පාත ඇත්තේ සිංහල අලුත් අවුරුදු සමය බැවින් ආණ්ඩුව අලුත් අවුරුදු ක්‍රීඩාවක් හඳුන්වා දීමට වලිකන බව පැහැදිලිය. ඒ “කලිසම් ගැලවීමේ කොමිෂම්” ක්‍රීඩාව ය.
කොමිසම් දාන්න වූණේ ගත්තු කොමිස් ගැන කතාව යටපත් කරන්නටය. ගත් කොමිස් මුදල ලොකු නිසා ආවේ ප්‍රමිතියෙන් අඩු බාල ගල් අඟුරුය. ගල් අඟුරු බාල නොවූණේ නම් සහ නියමිත විදුලි ධාරිතාව එමඟින් ජනනය කළේ නම් කොමිස් ගැන කතාව බලවත් වන්නේ නැත. එසේ වූයේ නම් තව රුපියල් ලක්ෂ හාර පන්සියයක් වියදම් කර කොමිෂන් දමන්නට වුවමනා වන්නේ ද නැත.
කොමිෂම යනු මෙගා ටෙලිනාට්‍යයකි. එය අධ්‍යක්ෂවරයාට සිතෙන අයුරින් ඇදගෙන යා හැකිය. කිසියම් නළුවෙකු හලන්නට ඕනෑ නම් එය අධ්‍යක්ෂවරයාට අමාරු දෙයක් වන්නේ නැත. අලුත් චරිත බස්සන්නට ද ලෙහෙසියෙන්ම පුළුවන. කතාව නැගලා යන තරමට ඇදලා යන කාලය තීරණය වේ. පිටපත ලියන්නේ ගෙදර යන ගමන්ය. කොමිස් ගැන හොයන්න කොමිෂම් දමන්නේ කුමකට ද? කියා ඒ අනුව තේරුම් ගත හැකි විය යුතුය.
ගල් අඟුරු නිසා මෙබඳු විපතක් ලොව කවර ආණ්ඩුවකටවත් සිදුවී ඇතැයි අපි නම් අසා නැත. ආණ්ඩුව ඉන්නේ ගල් අඟුරු හත් පොළේ ගාගෙන ය. හොරු අල්ලන්නට ආ ආණ්ඩුවක් මහා පරිමාණ හොරකමක් කර අතේ පත්තු කරගෙන අවසන්ය. තවදුරටත් ආණ්ඩුව සතුව දූෂණ විරෝධී කන්‍යාභාවය නොමැත. ඒ බව කියන්නේ අප පමණක් නොව, ආණ්ඩුවේම ඩෝබිල වූ නිර්මාල් රංජිත් දේවසිරිලාම ය. වෙලා ඇත්තේ කුමන අන්දමේ “සිස්ටම් චේන්ජ්” එකක් දැයි දැන් කාට කාටත් පැහැදිලිය. සිදුව ඇත්තේ පුනරුදේ කර ගහගෙන පැමිණියවුන් හෙළුවෙන් ඇවිද්දවීමට ආණ්ඩුව සමත් වීම ය.
කොමිස් ගැසූ එවුන් සිටින්නේ A/C කාමරවල ය. ඡන්දය දීපු උන් සිටින්නේ විදුලිය රහිතව දාඩිය පිඹ පිඹ ය. කොමිෂම රැස්වනු ඇත්තේ ද A/C සහිතව ය. 2009 සිට 2026ට එන්නට බොහෝ කල් ගතවනු නිසැකය. කොමිස්කාරයා ගැන නොසොයන්නැයි කියමින් කොමිෂමක් දැමූ ආණ්ඩුව දැන් පෙන්වන්නේ “ත්‍රිසම්” ය. කොමිෂම් මගින් ‘‘ත්‍රීසම්“ පෙන්වීම වෙනමම හැකියාවක ය.
හෙට දවසේ කලින් කියාම විදුලිය කපන විට, කොමිෂම් දෙස බලා සිටින්ට කලිසම් හැඳි ජනතාවට හැකි වන්නේ නැත. ආණ්ඩුව හදන්නේ ඒ වෙලාවට කොමිෂම් එක්ක එකතු වූ අපව “තීසම්” එකකට අරගන්නට ය. එක් අතකින් එහෙම හරි වුණ එක හොඳය; කාටත් වඩා පුනරුදයට වින්නසුකම් කළ උජත් බුජ්ජිමත් ජනතාවට හොඳය
