රජයේ විදේශ ණය ඩොලර් මිලියන 540කින් ඉහළට
1 min read
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, 2026 වසරේ දෙවන කාර්තුව අවසන් වන විට මෙරට සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය සහ විදේශ ණය තොගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
වාර්තාවට අනුව, 2026 පළමු කාර්තුව අවසානයේ (මාර්තු 31) ඇමෙරිකානු ඩොලර් මිලියන 37,468ක්ව පැවති රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය, දෙවන කාර්තුව අවසන් වන විට (ජූනි 30) ඇමෙරිකානු ඩොලර් මිලියන 38,008ක් දක්වා ඩොලර් මිලියන 540කින් ඉහළ ගොස් තිබේ.
දේශීය මුදලින් ගණනය කිරීමේදී සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය 2026 මාර්තු මස පැවති රුපියල් බිලියන 32,233 සිට ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 32,977ක් දක්වා රුපියල් බිලියන 744කින් ඉහළ ගොස් ඇත.
දෙවන කාර්තුව තුළ රජය විසින් ලබාගෙන ඇති මුළු දේශීය හා විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,997.1කි. එම කාලසීමාව තුළ ණය වාරික සහ පොලී ගෙවීම් (ණය සේවාකරණය) වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 2,698.6ක් වන අතර, ඉන් රුපියල් බිලියන 257ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 804.3ක්) වැය කර ඇත්තේ විදේශ ණය සේවාකරණය සඳහාය.
රජයේ විදේශ ණය සංයුතියෙන් සියයට 66ක්ම ඇමෙරිකානු ඩොලර් (USD) වලින් ලබාගෙන ඇති බැවින්, දේශීය මුදල අවප්‍රමාණය වීමකදී ණය බර සහ ගෙවීම් පිරිවැය සීඝ්‍රයෙන් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.
රජයේ සමස්ත විදේශ ණයවලින් සියයට 22.3ක් පාවෙන පොලී අනුපාත (Floating rates) යටතේ පවතින බැවින්, ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාත ඉහළ යාම මෙරට ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරයි.
රාජ්‍ය ව්‍යවසායන් (SOEs) වෙනුවෙන් මහා භාණ්ඩාගාරය ලබා දී ඇති ඇපකර මත පදනම් වූ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,885ක් (රුපියල් බිලියන 971ක්) දක්වා ඉහළ මට්ටමක පවතී. මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතන සතු අධික ණය බර මහා භාණ්ඩාගාරයට බරපතළ අවදානමක් නිර්මාණය කර ඇත.
ප්‍රධාන ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ ගිවිසුම්වලට එළඹුණද, රටවල් 13ක ණයහිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා තවමත් අවසන් වී නොමැති වීමද මූල්‍ය අවිනිශ්චිතතාවට හේතුවක් වී තිබේ.
- ජයදේව වීරසිරි
