නොදැන ගියොත් අතරමග…
1 min read
දැන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමගයැයි කීවේ අපගේ පැරැන්නන් ය. දැන් අප ඉන්නේ නොදැන යන අතරමගක ය. මේ බව වටහාගැනීමෙන් තොරව, කතරගම යාමට කිසිවකුට හැකියාවක් නැත.
ගාලුමුවදොර අරගලයට පැමිණි, සැබැවින්ම ලෝගුදාරී, භික්ෂු වෙස්ගත් ඕමල්පේ සෝභිත පියතුමන් කීවේ දැන් ඉතින් සිංහල බෞද්ධ බලය අවසන් බවය ! ඕමල්පේ සෝභිත පියතුමන් එය කීවේ මහත් ආශ්වාදයකින් බව පැහැදිලිය. සිදුවෙමින් පවතින්නේ ඕමල්පේ සෝභිත පියතුමන් කියූ පරිදිම, ඒ ටිකය.
සිංහල බෞද්ධ බලය කතෝලික හෝ ක්‍රිස්තියානිකාරයාට සහජීවනය නොදුන්නේ නැත. දෙමළ හින්දු හෝ මුස්ලිම් මිනිසුන් අදත් වැජඹෙන්නේ ඒ බලයට පින්සිදු වන්නටය. ඒ බව පාස්කු ප්‍රහාරය එල්ල වූ කාලයේ කියා සිටියේ වෙනින් කවුරුවත් නොව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ය.
ගාලුමුවදොර අරගලයේ සිටියේ ඒ කාදිනල්තුමන්ගේ බලකාය ය. ඊට අමතරව මුස්ලිම් හා දෙමළ අන්තවාදී මෙන්ම සිංහල සමාජයේ සිටින වාම වෙස්ගත් එකී බලවේගවල පිල්ලි ය. ඒ අරගලය ගෙන ආවේ භීෂණය මිස අන් කිසිවක් නොවේ. බංගලාදේශයේ ද, නේපාලයේ ද සිදුවූයේ එයම ය. ඒ, ඇමරිකන් එක්සත් ජනපද තිර පිටපතකට අනුව සිදු වූ මෙහෙයුම් ය.
දැන්, තියෙන්නේ රාජ්‍යයට එරෙහිව සන්නද්ධ අරගල දියත් කළ, රාජ්‍ය අත්පත් කර ගැනීමට ක්‍රියා කළ ජ.වි.පෙ. පාලනයක් ය. හැබැයි, මේ ජ.වි.පෙ. විජේවීරගේ ජ.වි.පෙ. සේ රාජ්‍යයේ ඒකීයභාවය රැකීමට පක්ෂ නැත. විජේවීරගේ ජ.වි.පෙ තුළ වූ සෝමවංශ අමරසිංහ දක්වා පැවැති අධිරාජ්‍ය විරෝධය මේ ජ.වි.පෙ. ට අදාළ නැත. එහෙත්, ජ.වි.පෙ. සාම්ප්‍රදායික අනුගාමිකයෝ ද එහි භක්තිවන්ත සාමාජිකයෝ ද හිතන්නේ මේ ජ.වි.පෙ. ඒ ජ.වි.පෙ යැයි කියාය. එහෙත් දැන් සිදුවන්නේ, ඒ ජ.වි.පෙ. ට එරෙහි, මේ ජ.වි.පෙ. මෙහෙයුම ය.
අධිරාජ්‍යවාදීන් මෙතැනදී සමත් වී තිබෙන බව අප පිළිගත යුතුය. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීම සිදුවෙමින් ඇත්තේ දැන්ය. ජ.වි.පෙ. නැමැති වාම අධිරාජ්‍යවිරෝධී සන්නාමයම යොදවා ගෙන බෞද්ධයාටද රාජ්‍යයට ද කෙළවීම ඒ අනුව දැන් සිදුකෙරෙමින් ඇත. මෝඩ අන්දභක්තික ජ.වි.පෙ. සාමාජිකයාට ඒ බව තේරෙන්නේ නැත. ඔහුට පුරුදු පුහුණු කර ඇත්තේ දෘෂ්ඨිවාදී අරමුණකට වඩා ජ.වි.පෙ. නැමැති සන්නාමය රකින අරමුණකට වීම ඒකට බලපා ඇති එක හේතුවක් බව පැහැදිලිය.
සැබැවින්ම, දැන් සිදුවෙන්නේ, මෙරට ඉතිහාසයේ ක්‍රියාත්මක බරපතල මහා තීරණාත්මක මෙහෙයුමය. එය සිදුවන්නේ කෙසේද?
රණවිරුවෝ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගඋත්තරකරුවෝය. කොටි පැරද වූ වීරයෝ හාල් කෑලිය. මහසඟරුවන අපචාරක හැත්තක්ය. සිංහලයා, සිංහල කතෝලිකයා මරාදමන්නට ක්‍රියා කළ තිරිසනුන්ය. සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කිරීම ජාතිවාදී වීමය. වත්තල පාසැලක විදුහල්පති තණතුරට කන්‍යා සොයුරියක් ඉල්ලා මාලිමාවේ ඇමැතිකෙනෙක් අරගල කිරීම සහජීවනය ය. රට හා ජාතිය උදෙසා ක්‍රියාකළ වුන් වංචනිකයෝය. කන්ටේනර් 300 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා නොකර නිදහස් කළ වුන්, බාල ගල් අඟුරු වංචාවේ නිරත වූවන්, එනිසාම විදුලිය බල පිරිවැටුම ඉහල දමා ඒ බර ජනතාව මත පැටවූවන්, මුදල් අමාත්‍යංශයේ මුදල් හොර ගිණුම් වලට දැමූවන්… මේ ඔක්කොම සුදනන් ය.
රාජපක්ෂලාට වෛරයේ ප්‍රහාරය එල්ලවන්නේ “හොරකම්” පිළිබඳ මුවහත ඉදිරියට දමා වුවත් එහි පතුලත ඇත්තේ කොටි යුදමය වශයෙන් පැරදවීමේ වෛරය ය. වගේ වගක් නොදන්නා පාස්කු ප්‍රහාරයට, කාදිනල් හා එක්වී සලේට හා ගෝඨාභයට තලන්නේ ඒ අනුවය. බැසිල් රාජපක්ෂට කිසිදු කරදරයක් නොමැත්තේ, මේ “ගේම්” එකේ ඉත්තෙක් නිසාය. ඔහු ඉන්නේ ඇමරිකාවට වී සැපට සැපේය. මිලින්ද මොරගොඩලා, එරාන් වික්‍රමරත්නලා, බෝන් අගේන් ප්‍රමිෂ්කාලා, එවැන්ජලිකයන්ලා ඇතුළු බොහෝ දෙනෙක් දැන් එක්වී සිටින්නේ මේ ආණ්ඩුව සමඟ මේ මෙහෙයුමට ය. ඇතැම් භික්‍ෂූන්ද බෞද්ධයෝ ද දැන හෝ නොදැන සිටින්නේ මේ භාහිර සතුරු මෙහෙයුම් “චරිත” බවට පත්වීය.
මෙහෙම තත්වයක්, මෑත ඉතිහාසයේ අප හමුවේ ඇති වූයේ නැත. ජ.වි.පෙ. දැන් අල්ලමින් සිටින්නේ පොලීසිය, හමුදාව ඇතුළු රාජ්‍ය අංශවල ප්‍රධාන මර්මස්ථාන ය. ප්‍රතිඵලය වන්නේ අනාගතයේ දී රට ලේ විලක් කර හෝ දුෂ්ඨ භාහිර උවමනාවන් ඉටු කිරීමය. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදය හෝ එමගින් නටවන මානව හිමිකම් සංවිධාන හෝ ආණ්ඩුවේ ප්‍රජාත්‍රන්තවිරෝධී “ගේමට” කිසිදු ප්‍රතිවිරෝධයක් දක්වනු ඇතැයි අප සිතිය යුතු නැත.
සංඝ සමාජය වනසන්නේ ඒ මෙහෙයුමට අනුවය. බුද්ධි අංශ බිඳ දමන්නේ ඒ මෙහෙයුමට අනුවය. විපක්ෂයේ සියල්ලන්ම “හොරු” ලෙස හංවඩු ගසා හිරේ දමන්නේ ඒ මෙහෙයුමට අනුවය. කාදිනල්ලා, සිරිල් ගාමිණීලා, ඕමල්පේ සෝභිතලා සියල්ලෝම හැසිරෙන්නේ ඒ මෙහෙයුමට අනුවය. මේ බව නොතේරෙන්නන්, පටු වාක්‍ය මත හෝ සටන් පාඨ මත සිරකරුවන්ව සිටින්නන් හැර වෙන අන් කවරකුවත් නොවේ ය.
මේ ගහමින් ඉන්නේ රාජ්‍යයටය. ථේරවාදී බුදුදහම රකින වගකීම ඓතිහාසිකව බාරගත් රාජ්‍යයටය. එය, සාර්ථකවුවහොත්, රාජ්‍යයත් දහමත් අවසන්ය. එබැවින්, පටු වාද බේද පසෙක තබා කළ යුත්ත කළ යුතු අවසන් නිමේෂය දැන් උදා වී ඇත. තවත් ප්‍රමාද වුවහොත් කතා කරන්නටවත් කිසිවක් ඉතිරි නොවුනු නිසැකය.