ස.ජ.බ. මණ්ඩලේ කචල් ! අජිත් පී. පෙරේරාට එරෙහිව විනය පියවර ?
1 min read
පසුගිය 21 වැනිදා විපක්ෂනායක කාර්යාලයේ දී පැවැති සමගි ජන බලවේගයේ කළමණාකරණ කමිටු රැස්වීමේ දී අජිත් පී. පෙරේරා මන්ත්‍රිවරයා ඉලක්කකොටගත් ප්‍රහාරයක් සැලසුම් සහගතව එල්ල කර තිබේ.
මෙහිදී පක්‍ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත වෙන වෙනම ලිපි ලබා දී ඇති එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා හා හේෂා විතානගේ මන්ත්‍රිවරයා එමගින් ඉල්ලා ඇත්තේ පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙසය. එසේ ඉල්ලීමට හේතුව ලෙස ඔවුන් සිය ලිපිවල සඳහන් කර ඇත්තේ, පසුගියදා විපක්ෂයේ සෑම පක්ෂයකම නියෝජිතයන්ගෙ සහභාගිත්වයෙන් පැවති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සාකච්ඡාවට සහභාගිවීම හා ඒකාබද්ධ නිවේදනයකට පක්ෂයේ අවසරයකින් තොරව අත්සන් තැබීමය.
මෙම සිදුවීමත් සමඟ බරපතල කාලගෝට්ටියක් බවට පත්ව ඇති ස.ජ.බ. කළමණාකරණ කමිටු රැස්වීම අජිත් පී. පෙරේරා කළ දේ අනුමත කරමින් හා එය පිටුදකිමින් මත දක්වන දෙපිරිසකගේ හඬ නගන තැනක් බවට පත්ව ඇත.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කළමණාකරණ කමිටු රැස්වීම අවසන් වීමෙන් පසු මාධ්‍ය ඇමතූ එස්.එම්. මරික්කාර් පවසා සිටියේ 22 ට එරෙහිව 24 දා උදේ පැවැත්වෙන විරෝධතාවට තමන් ආරාධනා කරන්නේ එ.ජා.ප. යට පමණක් බවය. සෙසු විපක්ෂ පක්ෂ විවේචනය කරමින් ඔහු සිදු කළ එම ප්‍රකාශය මත විපක්ෂ පක්‍ෂ හා සිවිල් සංවිධාන අතර බලවත් අප්‍රසාදයක් ඇති වී තිබේ.
- රාජිත දික්කුඹුර
