ලුක් මලබා + සූරසේන !
1 min read
කෙප්ප කෙලලා බලයට ආ අනුර කුමාර අතේ දැන් විධායක ජනාධිපති බලය තිබේ. පාර්ලිමේන්තුවේ තුණෙන් දෙකක බලය ද තිබේ. මේ වන විට අධිකරණයේ බලය ද අනියමාර්ථයෙන් තිබේ. ඒ, දේවගැති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මගින් මුලුමහත් විනිසුරුවන්ගේ පාලනය සියතට ගැනීම මගිණි. එහෙත් එක අවුලක් ඇති වී තිබේ. ජනාධිපතිට මොන බලය තිබුණද කෙනෙකු වයසට යාම නතර කිරීමේ බලය නොවේ. මේ නිසා දැන් සූරසේන පැමිණ ඇත්තේ විශ්‍රාම යන වයසේ ගැට්ටට ය. එනම්, දෙසැම්බර් මාසේ මුල දේවගැති සූරසේන විශ්‍රාම යාමට නියමිතය.
ජනාධිපති “හොරු අල්ලන්නේ” රටේ පවත්නා නීතියට අනුකූලව, ස්වාධීන අධිකරණ පද්ධතියක් මගින් නම්, සූරසේන විශ්‍රාම ගියාට කලබල විය යුතු නොවේ. එහෙත්, ජනාධිපති චෝදනා නිපදවන්නේ ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය තුළ දේශපාලනයේ නිරත වූ ශානි අබේසේකර මගින් ය. රැදවුම් නියෝග හෙවත් D.O. ගහන්නේ ජනාධිපතිය. නඩුව විභාග කරන්නේ උසාවියේ විනිසුරුය. ඒ විනිසුරුට ඉහල අධිකරණයේ පුරප්පාඩු පෙන්වා “නඩුව බලවන” හැටි නියෝග කරන්නේ සූරසේනය ! අන්න ඒ නිසා ජනාධිපතිට හිතාගෙන ඉන්න දඩයම කරන්නට සූරසේන නැතුවම බැරිය.
ඒ හින්දා “සිස්ටම් චේන්ජ්” කරන්නට ආ ජනාධිපති කරන්නේ යුක්තිය පසිඳලීමේ කාර්යය බල්ලට දමා දෑස් බැඳි නීතියේ දෙවඟන අතේ ඇති තරාදිය තමන් අතට ගැනීම ය. ඒක කරන්නට සූරසේන නැතුවම බැරිය. සූරසේන තවදුරටත් තියාගන්න ඉහළ අධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යන වයස තවත් වසර 2 කින් දීර්ග කරන්නට යන්නේ ඒකට ය. ස්වාධීන අධිකරණයටත්, අපේ රටටත් වෙන්නේ මෙහෙම වැඩක් කරන්නට ගොස් 2021 දී සිම්බාබ්බේ රටට සිද්දවෙච්ච සන්තෑසියම ය.
2021 වසර වන විට, සිම්බාබ්බේ රටේ සිටිය අගවිනිසුරුට (ප්‍රීති පද්මන් සූරසේනට) කීවේ ලුක් මලබා කියාය. ඒ වන විට එහේ සූරසේන හෙවත් ලුක් මලබා විශ්‍රාම යන්නට ආසන්න බැවින් එහේ සිටිය ජනාධිපති අනුර කුමාර හෙවත් එමර්සන් මුනන්ගග්වා ට විනිසුරන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දමා හෝ ලූක් මලබාව අගවිනිසුරුකමේ තියාගන්න ඕනෑ වුණේය. ඒ, විශ්‍රාම යන වයස 70 සිට 75 දක්වා දිගුකිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන්ය.
මුනන්ගග්වාගේ මේ තීරණයට එරෙහිව එරට නීතිඥයින් හා නීති සංගම් අධිකරණය හමුවට ගියහ. ඒ අනුව එරට මහාධිකරණය තීරණය කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනය දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට අදාළ කරගත නොහැකි බැවින් අගවිනිසුරු ලුක් මලබා හෙවත් එහේ සූරසේන වහාම විශ්‍රාම ගැන්විය යුතු බවය. එහෙත්, එහේ අනුර කුමාර හෙවත් ජනාධිපති මුනන්ගග්වා නිකම් බලා සිටියේ නැත. ඔහුගේ ආණ්ඩුව මහාධිකරණයේ එම තීරණය අභියෝගයකට ලක් කරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවට ප්‍රශ්ණය ගෙන යාමෙන්ය. ප්‍රශ්නය ඇති වී ඇති තැනට ප්‍රශ්ණය ආවේ ඒ ආකාරයට ය.
සිම්බාබ්බේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සාමාජිකයකු මෙන්ම එහි ප්‍රධානියා වන්නේ එරට අගවිනිසුරු ලුක් මලබා හෙවත් “සූරසේන” ය. ඔහුට අමතරව එහි ඉන්නේ තවත් විනිසුරන් 6 දෙනෙක්ය. නඩුත් හාමුදුරුවාගේ වී බඩුත් හාමුදුරුවන්ගේ වූයේ එතන දී ය. එරට මහාධිකරණය දුන් ඉහත කී තීන්දුව නිශේධනය කළ, ලුක් මලබාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ලුක් මලබා තවදුරටත් අගවිනිසුරුධූරයේ රැඳී සිටීමට ලුක් මලබාම අවසර ලබා දුන්නේය. ලුක් මලබා යනු සූරසේනගේ එක කුසේ උපන් නිවුන් සහෝදරයා ය. චුච්චි වෙනසක්වත් ඇත්තේ නැත.
එතැන් සිට අධිකරණ පද්ධතියම ජනාධිපතිගේ පදයට නැටවිය. සිම්බාබ්බේ අධිකරණ පද්ධතියේ අපක්ෂපාතිත්වය හා ස්වාධීනත්වය සපුරා බිඳ වැටුණේය. එය එරට ජනාධිපති එමර්සන් මුනන්ගග්වා හෙවත් අනුර කුමාරගේ මෙවලමක් බවට පත්විය.
මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා ජාතිකව හා ජාත්‍යන්තරව ජනාධිපති එමර්සන්ව හැඳින්වූයේ “ව්‍යවස්ථාපිත කුමන්ත්‍රණකරුවකු” (Constitutional Coup) ලෙසය. මේ සංශෝධනය හරහා ලුක් මලබා අගවිනිසුරු පුටුවේ තවදුරටත් තබාගත් ජනාධිපති එමර්සන් ඊළඟට කළේ සිම්බාබ්බේ ජනාධිපතිධූර කාලය වසර 5 සිට 7 දක්වා දීර්ග කර ගැනීම ය. මහජන චන්දයෙන් ජනාධිපති පත්කරන ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයා පත්කරන ක්‍රමයක් ඇතිකර ගැනීම ය. මේ හරහා දැනට වයස අවුරුදු 83 ක් වන එමර්සන් මුනන්ගග්වාට 2030 වසර දක්වා හෝ ඉන් ඉදිරියටත් එරට ඒකාධිපති පාලකයා ලෙස රැඳී සිටීමට අවස්ථාව හිමිකරගෙන තිබේ. ලංකාව ද අරන් යන්නට හදන්නේ ඒ පාරේ ය.
අනිත් අතට සිදුවූයේ මේ වියරු සංශෝධනය විසින් එරට ඇතිව තිබූ ආර්ථික කඩාවැටීම උග්‍ර වීමය. ආයෝජන විශ්වාසය අහිමිවීමය. දැන් ලංකාවේ ජනාධිපතිගේ පරමාදර්ශය වී ඇත්තේ සිම්බාබ්බේ ඒකාධිපති ජනාධිපති එමර්සන් මුනන්ගග්වා ය.
ඊළඟ මැයි දිනයේ දී “ජෙපි” පෙළපාලියේ කියන්නට නියමිතව ඇත්තේ “අපි යන්නේ කොයි පාරේ – එමර්සන්ලා ගිය පාරේ” යනුවෙන් ය. අපේ රටේ අගවිනිසුරු “ලුක් මලබා” බලා ඉන්නේ විශ්‍රාම වයස දිගුකළ පසු මුලු අධිකරණයම අල්ලේ නටවන්නට ය.
මේ ව්‍යවස්ථා සංශෝධනය කරගන්නට ඉඩ දුන්නොත් ජනාධිපතියි, අපේ රටේ “ලුක් මලබා” හෙවත් සූරසේනයි අධිකරණය නටවනු ඇත්තේ “නහයෙන් අල්ලා අද්දන්නා වගේ” ය. එමඟින් කියනුයේ “කිසිදු ප්‍රතික්ෂේප කිරීමකින් තොරව, කියන ඕනෑම දෙයක් කිරීමට කෙනෙකුව යටත් කර ගැනීම” ගැන ය. එතැන් සිට උදාවන්නේ ස්වාධීන අධිකරණයේ මලගම ය.
අපට ඉතුරුවනු ඇත්තේ නීතියේ දෙවඟනගේ ආදාහන කටයුතු සුදු කොඩි ඔසවා නිසි පරිදි සිදු කිරීම පමණක්ම ය. හත් දවසේ දානය දෙනු ඇත්තේ “ලුක් මලබා” ය. තුන්මාසේ දානය දෙන්නේ එමර්සන් මුනන්ගග්වා ය.
පිංවතුන් කළ යුත්තේ සාධුකාරයක් දීම පමණම ය. දේවගැති ලුක් මලබා කියනු ඇත්තේ “ආමේන්” කියාය.