September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් SLC එකට නීතිමය ප්‍රහාරයක්: අත්තනෝමතික කැපීමට එරෙහිව කෝටි ගණනක වන්දි ඉල්ලයි

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ නැවතත් අර්බුදකාරී වාතාවරණයක් මතුවෙමින් තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) හිටපු ජාතික තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තමන්ව අත්තනෝමතික ලෙස තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කිරීමත් සමඟයි.

මාස 4න් අවසන් වූ දෙවසරක කොන්ත්‍රාත්තුව

2025 දෙසැම්බර් 16 වැනිදා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව, තරංග පරණවිතාන, ඉන්දික ද සේරම්, විනෝදන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන සාමාජිකයන්ගෙන් සමන්විත ජාතික තේරීම් කමිටුව පත් කරනු ලැබුවේ වසර දෙකක නිල ධුර කාලයක් සඳහාය.

නමුත් එම පත්වීම ලබා දී මාස 4ක් වැනි කෙටි කාලයක් ගතවෙද්දී, එනම් 2026 මැයි 21 වන දින, නව ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් වෙනත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.

ගවේෂණාත්මකව කරුණු විමසා බැලීමේදී අනාවරණය වන්නේ, මෙම ඉවත් කිරීමට පෙර පැරණි කමිටුවට එරෙහිව කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමක්, පූර්ව දැනුම්දීමක් හෝ ස්වාභාවික යුක්තිධර්මයට අනුකූල නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිතව කරුණු විමසා සිටියද ඊට කිසිදු නිල හෝ යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ජනප්‍රිය පුවත්  ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ ?

බෙදාලීමේ පරස්පරතාව සහ අමුතු සමථයන්

තමන්ව අසාධාරණ ලෙස ඉවත් කිරීමට එරෙහිව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ ඉන්දික ද සේරම් යන මහත්වරුන් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එන්තරවාසි (Letters of Demand) යොමු කර තිබුණි.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව ක්‍රිකට් පරිවර්තන කමිටුව අනුගමනය කර ඇති පිළිවෙත බරපතල ගැටලු මතුකරයි. සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා හැර, කමිටුවේ සසු සාමාජිකයන් සිව්දෙනා සමඟ පමණක් රහසිගත සමථයකට පැමිණීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.

සාමාජිකයන්ට මූල්‍ය වන්දි: සභාපතිවරයා හැර සෙසු සාමාජිකයන් 4 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 32ක් (රාජ්‍ය බදු අයවීමෙන් පසු ලක්ෂ 24ක්) බැගින් ගෙවීමට කටයුතු කර ඇත.


නීතිමය බන්ධන: අදාළ මුදල ලබා දෙන අතරතුර, ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බවට ඔවුන්ගෙන් ලිඛිත පොරොන්දු ලබාගෙන තිබේ.


තනතුරු ප්‍රදානය: ඊට අමතරව තරංග පරණවිතාන මහතාට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහ විනෝදන් ජෝන් මහතාට නැගී එන කණ්ඩායමේ නව තනතුරු ලබාදීමටද පාලකයින් කටයුතු කර ඇත.


සෙසු සාමාජිකයන් සමඟ මෙලෙස එකඟතාවලට පැමිණියද, කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සමඟ කිසිදු සාකච්ඡාවක් හෝ එකඟතාවක් සඳහා පාලනාධිකාරිය යොමුවී නොමැති අතර, “එක එක අයට එක එක හැඳිවලින් බෙදීමේ” මෙම පරස්පර විරෝධී පිළිවෙත නීතිමය ප්‍රශ්නගත කිරීමකට ලක්වීමට නියමිතය.

ජනප්‍රිය පුවත්  ඉන්දන සඳහා QR ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

නීතිමය සටනට පදනම

තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පූර්ණ වන්දියක් ඉල්ලා අධිකරණය හමුවට යාමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත්තේ ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගනිමිනි:

පත්වීම් ලිපියට අනුව වසර 2ක සමස්ත ධුර කාලය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ මාසික දීමනා සහ හිඟ මුදල් එකතුව.
අහේතුක සහ අත්තනෝමතික ලෙස තනතුරෙන් ඉවත් කිරීම හේතුවෙන් තමන්ගේ දීර්ඝ කාලීන ක්‍රිකට් වෘත්තීය ජීවිතයට සහ ජාත්‍යන්තර මට්ටමේ කීර්තිනාමයට සිදුවූ දැඩි හානිය.

දක්ෂතා සහ වාර්තා අමතක කිරීමක්ද?

දෙවැනි ධුර කාලයේදී මෙලෙස ක්ෂණිකව ඉවත් කරනු ලැබුවද, 2021 වසරේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුවිශේෂී ප්‍රගතියක් අත්කරගත් බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

වසර 8කට පසු ආසියානු කුසලාන ශූරතාව දිනාගැනීම, ආසියානු කුසලාන අනුශූරතාව හිමිකර ගැනීම, වසර 30කට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීම සහ 2016 වසරෙන් පසු ප්‍රථම වතාවට විස්සයි-20 ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීම ඇතුළු ජයග්‍රහණ රැසකට පදනම වැටුණේ එම කමිටුව මගින් හඳුන්වා දුන් නවක ක්‍රීඩකයින් පිරිස හරහාය.

ජනප්‍රිය පුවත්  දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි - අගවිනිසුරු

සුදුසුකම් සහ අත්දැකීම් සහිත නිලධාරීන් මෙලෙස අත්තනෝමතික ලෙස ඉවත් කිරීමත්, ඉන් පසුව තෝරාගත් පිරිසකට පමණක් වන්දි සහ තනතුරු බෙදා දෙමින් තනි පුද්ගලයන් ඉලක්ක කර ක්‍රියාකිරීමත් පිටුපස ඇති පරිපාලනමය ගැටලු ඉදිරියේදී අධිකරණය හමුවේ තදින්ම විමර්ශනය වනු ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x