වටගලට හිරගෙය ! හර්ෂණ ඉඩමට !
1 min read
හර්ෂණ නානායක්කාර තම අමාත්ය වගකීම වගකීම්සහගතව ඉටුනොකිරීමේ චෝදනාව මත ඔහු අධිකරණ අමාත්ය තණතුරෙන් ඉවත්කිරීමට පැලවත්ත තීරණය කර තිබේ. පසුගිය දිනවල බන්ධනාගාර තුළ ඇති වූ කැරලිකාරී තත්ත්වය පිළිබඳව සංවේදීව හා වහාම මැදිහත් වී ක්රියාමාර්ග නොගැනීම පිළිබඳව පැලවත්තෙන් ඔහු වෙත දෝෂාරෝපණ එල්ල වී ඇති අතර, ඔහු සිදුවීම් පිළිබඳව මාධ්ය හමුවේ දක්වන ලද ප්රතිචාර පිළිබඳව ද විවේචන එල්ල කර තිබේ.
අපගේ පැලවත්ත ආරංචිමාර්ග පවසන්නේ 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සිදුකිරීමෙන් පසු ඔහු අධිකරණ අමාත්ය තණතුරෙන් ඉවත්කිරීම ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙන බවය. නමුත්, පැලවත්ත බලධාරින්ගේ අදහස වී ඇත්තේ, එතෙක් ප්රමාද නොකර, අදාළ අමාත්ය වෙනස කඩිනමින් සිදු කළ යුතු බවයි.
හර්ෂණ නානායක්කාරයට අධිකරණ අමාත්ය තණතුර වෙනුවට ලබාදීමට තීරණය කර ඇත්තේ ඉඩම් අමාත්ය ධූරය බව ද වාර්තා වේ. සෑම දිනකම සවස් කාලය වන විට තම ගජ මිතුරන් සමඟ අධික ලෙස බීමත්ව කල්ගෙවීමට පුරුදු වී ඇති හර්ෂණ නානායක්කාරට ගැලපෙන්නේ “අර්බුද රහිත” අමාත්ය තණතුරක් බව පැලවත්තේ මතය වී තිබේ.
හර්ෂණ නානායක්කාර ඉවත්වීම මගින් හිස්වන අධිකරණ අමාත්ය ධූරය නීතිඥ සුනිල් වටගලට පිරිනමනු ඇතැයි ද පැවසේ. මේ දිනවල කැනඩාවේ සිටින සිය දියණියගේ දුක සැප සොයා බැලීම සඳහා කැනඩාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින නියෝජ්ය අමාත්ය සුනිල් වටගල නැවත ලංකාවට පැමිණි පසු අදාළ වෙනස්කම් සිදුකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
සුනිල් වටගලගේ චර්යාව පිළිබඳව ද පසුගිය කාලය තුළ විවිද ගැටළු මතු වී ඇතත්, ඔහුගේ පක්ෂයට ඇති අවනතභාවය පිළිබඳව ප්රශ්න නොමැතිවීම අධිකරණ ඇමතිකම ඔහු වෙත පිරිනැමීමට හේතු වී තිබේ.
ඉඩම් විෂය දැනට පවතින්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත යටතේ ය. මේ වන විට 23 දෙනෙකුගෙන් සමන්විතව ඇති අමාත්ය මණ්ඩලය, මෙම ඇමති සංශෝධනයත් සමඟ 24 ක් බවට පත්වනු ඇත. නි. අමාත්ය සුනිල් වටගලගෙන් හිස්වන එම නියෝජ්ය අමාත්ය ධූරයට පත් කරන්නේ කවුදැයි වාර්තා වී නැත.
- දයන් ගුණසිංහ
