තිලීපන්ගේ පිළිරුව විකුණලා! | යාපනයේ දේශපාලන උණුසුමක් | අරමුදල්වලටත් විදලාද
1 min read
පසුගිය මාසයේදී නල්ලූර්හි ‘තිලීපන් ස්මාරක චතුරශ්‍රයේ’ තැන්පත් කර තිබූ එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජික රාසයියා පාර්තිපන් නොහොත් ‘තිලීපන්’ගේ 39 වැනි සමරුවට අදාළ පිළිරුව යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ උතුරු දේශපාලන කරළියේ නැවතත් ලොකු ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.
තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් සැමරීම රටේ පවතින නීතියට පටහැනි බව පෙන්වාදෙමින්, යාපනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන විසින් යාපනය මහනගර සභාව වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ ස්මාරකය පිහිටි භූමිය නගර සභාව සතු බැවින්, එතැන ඇති සියලුම ස්මාරක සහ ඊට අදාළ ද්‍රව්‍ය වහාම ඉවත් කරන ලෙසයි පොලිසිය දැනුම් දී ඇත්තේ.
මේ අතර, තිලීපන්ගේ ගුණසමරුව අල්ලාගෙන ඡන්ද ගුණ කරගන්න උත්සාහ කළ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර ඇතිවූ තරගකාරීත්වය සහ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ද පොලිස් විමර්ශනවලදී තොරතුරු එළියට ඇවිත් තිබෙනවා. මෙම සිද්ධියට අදාළව දෙමළ ජාතික ජනතා පක්ෂයේ (TNPF) ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ව ද අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.
කොහොම වුණත්, උතුරේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙහි පිටුපස තවත් ලොකු කතාවක් තිබෙනවා. මේ ස්මාරකය සහ පිළිරුව හැදීමට විදේශයන්හි වෙසෙන දෙමළ ඩයස්පෝරාවෙන් විශාල වශයෙන් අරමුදල් එකතු කර ඇති බවත්, නමුත් ඒ එකතු කළ මුදල්වලට සිදුවූ දෙයක් ගැන කිසිදු පාරදෘශ්‍යභාවයක් හෝ ගිණුම් වාර්තාවක් නොමැති බවත් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නිරීක්ෂකයන් චෝදනා කරනවා. තිලීපන්ගේ නම විකුණා මුදල් ගැසීමේ ජවාරමක් ද මේ පිටුපස ක්‍රියාත්මක වූයේ ද යන්න ගැන දැන් බොහෝ දෙනා සැක පහළ කරනවා.
