October 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ඔබතුමා නරඹන්නෙක් නෙවෙයි; කාගේවත් කැමැත්තට අධිකරණ බලය යටපත් වෙන්න දෙන්න එපා !” – අලි සබ්රි මහේස්ත්‍රාත්වරයා හමුවේ කියයි

1 min read

ක්‍රිෂ් (Krrish) සමාගම් ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප මෝසම් පත්‍රය සලකා බැලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ලබන නොවැම්බර් මස 03 වනදා දක්වා කල් තබනු ලැබීය.

ඊයේ (28) දින මෙම මෝසම අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් අතර දැඩි උණුසුම් තර්ක විතර්ක හුවමාරු විය.

“අද පීඩකයා හෙට පීඩිතයා වෙයිද?” — අල්ලස් කොමිසමෙන් විරෝධයක්

නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) තනුජා බණ්ඩාර මහත්මිය පෙර දින නීතිඥ පාර්ශ්වය දැක්වූ අදහස් උපුටා දක්වමින් මෙසේ කරුණු දැක්වූවාය:

“ස්වාමීනි, පෙර දින ජනාධිපති නීතිඥතුමා අවසන් වශයෙන් ප්‍රකාශ කළා අද පීඩාකාරී ලෙස හැසිරෙන අය ඉදිරි දිනවල පීඩිතයා බවට පත්වන බව. එසේ නම් කවුද දැන් පීඩකයා? ඉදිරියේදී කවුද පීඩිතයා වන්නේ? එතකොට පීඩිතයා මමද, අල්ලස් කොමිසමද, නැත්නම් සාක්ෂිකරුවන්ද? මෙම නඩුවේ සාක්ෂිකරුවන් මුල් අවස්ථාවේ ප්‍රකාශ දෙන්න බියෙන් හිටියේ. නාමල් රාජපක්ෂ සහ ජානකී රිමාන්ඩ් කළ පසුවයි ඔවුන් නොබියව ඉදිරියට ඇවිත් සාක්ෂි දුන්නේ. යම් ආකාරයකින් සාක්ෂිකරුවන්ට බලපෑමක් වෙනවා නම් එය යුක්ති සහගත වන්නේ නැහැ.”
වැඩිදුරටත් කරුණු දැක්වූ ඇය, “සාක්ෂිකරුවන් දෙදෙනෙකු පවසා තිබෙනවා සත්‍ය ප්‍රකාශ කිරීමට බියක් නැහැ කියලා. ඉදිරියේදී පීඩිතයන් වෙන්නේ මේ සාක්ෂිකරුවන්. අනෙක් අතට සැකකරුගේ මව්පියන් බලාගන්න වෙනම අය ඉන්නවා. අල්ලස හා දූෂණය සාමාන්‍ය දෙයක් නෙවෙයි, පරමාධිපත්‍යයට කරන හානියක්. නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ රටේ මිලියන 22ක ජනතාව වෙනුවෙන් සත්‍ය ඉටු කරන්නයි. විමර්ශනයේ බරපතළකම සලකා ඇප ලබාදීමට තරයේ විරුද්ධ වෙනවා,” යැයි සඳහන් කළාය.
“තොප්පිය හරිනම් දාගන්න; මේ රෝදය කැරකෙනවා විතරයි” — අලි සබ්රිගේ පිළිතුර

ජනප්‍රිය පුවත්  රනිල් හමුව "ලීක්" වීමෙන් ක්‍රිෂාන්ත කුරේට "මල" !

අල්ලස් කොමිසමේ ප්‍රකාශයට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, තමන්ගේ ප්‍රකාශය කොමිසම විසින් සිතාමතා විකෘති කර ඇති බව පෙන්වා දුන්නේය:

“ස්වාමීනි, කිසිම තැනක මම කිව්වේ නැහැ අද පීඩකයා හෙට පීඩිතයා වෙනවා කියලා. මම කිව්වේ මේ රෝදය කැරකෙනවා කියලා. ඒ දෙකේ විශාල වෙනසක් තියෙනවා. අනෙක් කාරණය තොප්පිය දාගන්න අවශ්‍ය නැහැ, අවශ්‍ය නම් දාගන්න. කවුද පීඩකයෝ කියලා කියන්නේ? ජනාධිපතිතුමා රට වටේම ගිහින් පම්පෝරි ගහනවා අහවල් දවසට නඩු තීන්දු දෙනවා කියලා. පනහක ලැයිස්තුවක් තියෙනවා කියනවා. රතිඤ්ඤා පත්තු කරන්න, අත්පුඩි ගහන්න කියනවා. නඩු ගොනු වෙන්නත් කලින් ආණ්ඩුවේ අය ඒක දන්නවා. කලින් හිටපු අධිකරණ ඇමතිවත් දන්නේ නැහැ නඩුව එන්න කලින් මෙහෙම එකක් තියෙනවා කියලා. දැන් ඉන්න අය ඔක්කොම කලින්ම දන්නවා. පීඩිතයෝ කියන්නේ ඒ අය.”
“අපිට විශේෂත්වයක් එපා; අධිකරණ බලය කාටවත් යට කරන්න එපා”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපුටා දක්වමින් අලි සබ්රි මහතා අධිකරණයේ ස්වාධීනත්වය සහ බලය පිළිබඳව දැඩි ප්‍රකාශයක් සිදු කළේය:

නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය මගින් පැහැදිලිවම දක්වා ඇත්තේ අධිකරණයකින් වරදකරුවෙකු කරන තෙක් ඕනෑම පුද්ගලයෙකු නිර්දෝෂී බවයි.
සමානාත්මතාවය: ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය අනුව ආගම, කුලය, දේශපාලන මතය මත කිසිදු සැකකරුවෙකුට විශේෂ තත්ත්වයක් හෝ වෙනස්කමක් නොකළ යුතු බව පෙන්වා දුන් ඔහු, “අපිට විශේෂත්වයක් අවශ්‍ය නැහැ. වෙනස්කමක් නොකර සාමාන්‍ය තත්ත්වයෙන් සලකන්න,” යනුවෙන් ඉල්ලා සිටියේය.
අධිකරණ බලය: “විනිශ්චයකාරතුමනි, ඔබතුමා නරඹන්නෙක් නොවෙයි. ඔබතුමාගේ බලය කාගේවත් කැමැත්තට යට නොවී පාවිච්චි කරන්න. කාටවත් මේ අධිකරණ බලය යටපත් කරන්න දෙන්න එපා.”
දින 50ක රිමාන්ඩ් කාලය සහ මවගේ විවෘත හදවත් සැත්කම

ජනප්‍රිය පුවත්  කිලිනොච්චි, මුලතිව් හමුදාව නෑ! උතුරෙන් හමුදාව ඉවතට!

සැකකරු මේ වන විටත් දින 50ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව සිහිපත් කළ ජනාධිපති නීතිඥවරයා, මරණ දණ්ඩනය හිමිවිය හැකි මත්ද්‍රව්‍ය වැරදිවලට පවා නඩු විභාග අතරතුර ඇප හිමිවන පසුබිමක උපරිම දඬුවම වසර 10ක් විය හැකි මෙවැනි නඩුවකට ඇප නොදී රඳවා තබාගැනීම සාධාරණීකරණය කළ නොහැකි බව පැවසීය.

විශේෂයෙන්ම සැකකරුගේ මව්පියන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ කරුණු අධිකරණයට වාර්තා කෙරිණි:

මහින්ද රාජපක්ෂ මහතා (81): රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටින අතර, අධිරුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන ඔහුගේ සත්කාර කටයුතු සිදුකරනු ලබන්නේ බිරිඳ විසිනි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය (74): දැනටමත් හෘද ස්පන්දන යන්ත්‍රයක (Pacemaker) ආධාරයෙන් පසුවන අතර, ඊයේ පස්වරු 4.00ට ඇයව අතිශය අවදානම් සහගත විවෘත හදවත් සැත්කමකට (Open-heart surgery) භාජනය කිරීමට නියමිතව තිබිණි.
පුත්‍රයෙකුගේ වගකීම: පවුලේ වැඩිමහල් පුතු ලෙස නාමල් රාජපක්ෂ රිමාන්ඩ් වන තෙක්ම ජීවත් වූයේ මව්පියන් සමඟ එකම නිවසේ බවත්, මෙවැනි තීරණාත්මක මොහොතක දරුවෙකු ලෙස මව්පියන් වෙනුවෙන් සිටීම මූලික මානුෂීය වගකීමක් බවත් පෙන්වා දුන්නේය.
“මීට වඩා සුවිශේෂී කරුණු ඉදිරිපත් කරන්න ඕනේ නම් අපිට ඒවා අලුතින් නිර්මාණය කරන්න තමයි වෙන්නේ,” යැයි අලි සබ්රි මහතා අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  දින 16 ක විදුලිය හිඟයක් !

අධිකරණ නියෝගය

මීට පෙර කැඳවූ එයාර් බස් ගනුදෙනුවේදී ඉදිරිපත් කළ කරුණු සලකා බලන බවට විත්තිය දැක්වූ අදහස්වලට අල්ලස් කොමිසම විරෝධය පළ කරමින් කියා සිටියේ, මෙම මෝසම පිළිබඳව තමන් දැනුවත් වූයේ අධිකරණයට පැමිණි පසුව බවත්, පෙර නඩුවේ කරුණු මෙම නඩුවට ඈඳාගත නොහැකි බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බවත්ය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥවරයා පැවසුවේ සැකකරුවන් වෙනස් වුවද ඔවුන්ගේ මව්පියන්ගේ නම් නඩුවෙන් නඩුවට වෙනස් නොවන බවයි.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඊයේ දින ඉදිරිපත් වූ සුවිශේෂී කරුණු පෙර නඩු දිනයේදී ඉදිරිපත් නොවූ කරුණු බව පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ ලේඛන පැමිණිල්ල වෙත ලබාදෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, මේ සම්බන්ධයෙන් සලකා බැලීමට නඩුව අද (29) දින යළි කැඳවන ලෙසත්, ඇප පිළිබඳ අවසන් නියෝගය ලබන නොවැම්බර් 03 වනදා ප්‍රකාශයට පත් කරන බවටත් නියෝග කළේය. සැකකාර නාමල් රාජපක්ෂ මහතා ලබන නොවැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

  • රකිත රඹුක්වැල්ල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x