October 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ වරායේ නැ/පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

1 min read

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලික සමාගමකට ලබාදීමට වරාය අධිකාරිය සැලසුම් කරමින් සිටින බවට වරාය වෘත්තිය සමිති චෝදනා කරයි.

වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 200ක පමණ ආදායමක් උපයාගත හැකි බවට තක්සේරු කර තිබෙන නැගෙනහිර බහලු පර්යන්තය (ECT) පෞද්ගලික පාර්ශ්වයක් වෙත ලබා නොදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ පාලනය හා අයිතිය යටතේ පවත්වාගෙන යන ලෙසට එම අධිකාරියේ විධායක නිලධාරින්ගේ සංගමය සහ ඉන්ජිනේරු සංගමය ජනාධිපතිවරයාට ලිපියක්ද යොමුකර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලකිය යුතු ආයෝජනයක් සිදුකර තිබෙන බවත් මෙම ආයෝජනයන්හි අරමුණ වූයේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ පර්යන්ත සමග තරග කළ හැකි නවීන, අර්ධ ස්වයංක්‍රීය බහලු පර්යන්තයක් ස්ථාපිත කිරීම බවත් වරාය විධායක නිලධාරිහු සහ ඉන්ජිනේරුවෝ පවසති.

​මෙම පර්යන්තයේ නෞකා මෙහෙයුම් දොඹකර 12ක්, ස්වයංක්‍රීය රේල් පීලි මත ධාවනය වන අංගණ දොඹකර 40ක්, Navis N4 පර්යන්ත මෙහෙයුම් පද්ධතිය, ABB ස්වයංක්‍රීයකරණ වේදිකාව සහ මෙහෙයුම් ගොඩනැගිලි ඇතුළු ප්‍රධාන පහසුකම් සියල්ල මේ වනවිට සකස් කර ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

ජනප්‍රිය පුවත්  සිංහලයා ජාතිවාදී ම්ලේච්ඡයෙකු ලෙස හංවඩු ගැසීමේ යටි අරමුණ..

පර්යන්තයේ ඉතිරි ක්‍රියාත්මක කිරීමේ හා පද්ධති පණගැන්වීමේ කටයුතු මෙම වසරේ (2026) අග භාගය වනවිට අවසන් කිරීමට ඉලක්ක ගතකර ඇති පසුබිමක මෙහෙයුම් පාලනය පුද්ගලික පාර්ශ්වයකට පැවරීම මගින් මෙරට ජනතාව සිදුකරන ලද ආයෝජනයේ ප්‍රතිලාභ අහිමිවීමේ අවදානමක් පවතින බවද වරාය වෘත්තිය සමිති සඳහන් කරයි.

වරාය අධිකාරිය සතු ජයබහලු පර්යත්නය (JCT) දශක ගණනාවක් තිස්සේ පුද්ගලික අංශයේ පර්යන්ත සමග සාර්ථකව තරග කරමින් සිටින බවත් නැගෙනහිර බහලු පර්යන්තය (ECT) ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම්, මානව සම්පත්, මූල්‍ය සහ පද්ධති පණගැන්වීමේ සැලසුම් වරාය අධිකාරියේ මෙහෙයුම් අංශය විසින් දැනටමත් සකස්කර තිබෙන බවත් වරාය විධායක නිලධාරිහු සහ ඉන්ජිනේරුවෝ පවසති.

මේ අතර වරාය අධිකාරියේ දත්තවලට අනුව 2021 වසරේ සිට 2025 වසර දක්වා වූ කාලය තුළදී මධ්‍යම ප්‍රමාණයේ JCT පර්යන්තය පමණක් රුපියල් බිලියන 63.2ක පමණ මෙහෙයුම් ලාභයක් උපයා තිබේ.

පුද්ගලික පර්යන්තවලින් උපයන මුදල් බහුතරයක් විදේශීය සමාගම් හරහා විදෙස් රටවලට ගලා යන බවද බහුජාතික සමාගම් ලබාගන්නා මුදල් ආයෝජනය කෙරෙන්නේ කුමන රටවලටද යන්න පිළිබඳව නියාමනයක් සිදු නොවන බවද එම වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.

ජනප්‍රිය පුවත්  වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 589ක් දක්වා ඉහළට

තවද නැගෙනහිර බහලු පර්යන්තයේ (ECT) ඍජු මෙහෙයුම් පාලනය වරාය අධිකාරිය වෙතින් ගිලිහී ගියහොත් එමගින් අනාගත ජාතික වරාය සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය දුර්වලවීමේ හැකියාවක් ඇති බවත් එය එක් පර්යන්තයකට පමණක් සීමා නොවනු ඇති බවත් එම අධිකාරියේ විධායක නිලධාරිහු සහ ඉන්ජිනේරුවෝ පවසති.

මේ මොහොතේ හදිසි අවශ්‍යතාව වන්නේ නව මෙහෙයුම් ආකෘතියක් හඳුන්වා දීම නොව වරාය අධිකාරිය යටතේ නැගෙනහිර බහලු පර්යන්තය (ECT) ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය මගපෙන්වීමක් ලබාදීම බවද ඔවුහු ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධව වරාය විධායක නිලධාරිහු සහ අනෙක් වෘත්තිය සමිති නියෝජිතයෝ වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක සමග පසුගියදා සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී වෘත්තිය සමිති නියෝජිතයන් සහ විධායක නිලධාරින් ඇමැතිවරයාට කියා සිටියේ නැගෙනහිර පර්යන්තය පුද්ගලික සමාගමකට පැවරීම මගින් ආර්ථිකයට බලපෑමක් එල්ලවන බවයි. මෙහිදී ඇමැතිවරයා ඔවුන්ට පවසා ඇත්තේ අදාළ ප්‍රශ්නය ජනාධිපතිවරයාට යොමු කරන බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x