කථානායක නිල නිවසේ, භාණ්ඩ ලේඛනය අතුරුදන් වී මාසයක් | බලධාරීන් නිහඬයි
1 min read
කථානායක නිල නිවසේ පවත්වාගෙන ගිය නිල භාණ්ඩ ලේඛනය (Inventory Book) අතුරුදන්ව දැනට මාසයකට වැඩි කාලයක් ගතවී තිබුණද, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
මෙම තුරුදන්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ යටතේ නිල නිවසේ බංගලා කළමනාකරු පසන් ඇතුකෝරල මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවකයන් හය දෙනෙකුගෙන් මේ වන විටත් දීර්ඝ ලෙස ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන ඇති අතර, ඉදිරියේදී එහි සේවය කරන තවත් සේවකයන් දෙදෙනෙකු කැඳවා ප්රශ්න කිරීමටද නියමිතව තිබේ.
බංගලා කළමනාකාරවරයා විසින් අදාළ පොත එහි සේවකයෙකුගේ භාරකාරත්වයට පත්කර තිබියදී පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙලෙස අස්ථානගත වී ඇති බවත්, ඒ පිළිබඳව කළමනාකාරවරයා විසින්ම අල්ලස් කොමිසම වෙත කරුණු වාර්තා කර ඇති බවත් අනාවරණය වේ.
කථානායක කාර්යාලයට අයත් භාණ්ඩ පරිහරණයෙන් බැහැර කිරීම් හා මුදාහැරීම් පිළිබඳ තොරතුරු රැසක් මෙම නිල ලේඛනයේ සටහන්ව තිබූ බවට වාර්තා වන අතර, කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් අරඹා තිබූ පසුබිමක මෙම අතුරුදන්වීම සිදුව තිබීම විශේෂත්වයකි.
- රවී කොඩිකාර
