උඩු ගුවනේදී ශ්‍රී ලන්කන් යානයක කලබගෑනියක් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
1 min read
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් තුළ අධික ලෙස මත්පැන් පානය කර කලහකාරී ලෙස හැසිරෙමින්, එහි දොරටුවට හානි සිදු කළ බව කියන ඉන්දීය සම්භවයක් සහිත මගීන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඉන්දීය ජාතිකයෙකි.
පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිඩ්නි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පියාසර කළ යූ.එල්. 607 (UL 607) දරන ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළදී මෙම සිදුවීම සිදුව ඇත.
ගුවන් ගමන අතරතුරදී ආහාර ලබාගැනීම සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඇති මෙම සැකකරුවන් තිදෙනා, පසුව වියරු වැටී කලහකාරී ලෙස හැසිරී තිබේ.
එහිදී ඔවුන් ආහාරපාන ප්‍රවාහනය කරන ට්‍රොලියක් මහත් වේගයෙන් තල්ලු කර ගුවන් යානයේ ප්‍රධාන දොරටුවක ගැටීමට සලස්වා ඇති අතර, එම ප්‍රහාරයෙන් දොරටුවට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙම සැකකරුවන් තිදෙනා සිඩ්නි නුවර සිට කටුනායකට පැමිණ, එතැන් සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට සැලසුම් කර තිබූ පිරිසක් බව හෙළිව තිබේ.
ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබෑමෙන් අනතුරුව, ගුවන්තොටුපළ පොලිසිය වෙත සිද්ධිය පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (01) අලුයම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
