ආණ්ඩුව බකං නිලාගෙන ! කර්මාන්ත රටෙන් ඉවතට !
1 min read
මෙරට ක්‍රියාත්මක ඇඟලුම් සහ අනෙකුත් නිෂ්පාදන කර්මාන්ත ගණනාවක් මේ වන විට ඉන්දියාව, වියට්නාමය හා බංගලාදේශය යන රටවල් කරා ගෙනයමින් තිබේ.
මෙයට හේතු වී ඇත්තේ විදුලි ගාස්තු, ඉන්ධන සහ අනෙකුත් බලශක්ති පිරිවැය ඉහළයාම මෙන්ම අධික බදු බර යනාදී කරුණු ය. එමෙන්ම, තරගකාරී රටවල් ප්‍රධාන වෙළඳපොලවල් (ඇමරිකාව සහ යුරෝපය) සමඟ වඩාත් වාසිදායක ගිවිසුම් ඇති කරගෙන තිබීම නිසා ලංකාවේ නිෂ්පාදන වලට නොලැබෙන මට්ටමේ බදු සහන එම රටවල නිෂ්පාදන සඳහා හිමිවීම ද මෙයට හේතු වී තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයකු වූ MAS හෝල්ඩින්ග්ස් මේ වන විට සිය නිෂ්පාදන කටයුතු බංගලාදේශය, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව සහ කෙන්යාව ඇතුළු අප්‍රිකානු රටවල් වෙත රැගෙන යමින් තිබේ. එමෙන්ම මෙරට පිරිවැය ඉහලයාම හේතුකොටගෙන ඔවුන් ඇතැම් දේශීය උප-කර්මාන්තශාලා ඒකාබද්ධ කිරීමට ද පටන්ගෙන ඇත.
බ්‍රැන්ඩික්ස් (Brandix) සමාගම ද මේ වන විට සිය ප්‍රධානතම නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉන්දියාවේ විශාඛාපට්නම් හි (Brandix India Apparel City) ස්ථාපිත කර තිබේ. එමෙන්ම, බංගලාදේශය තුළ ද සිය නිෂ්පාදන ධාරිතාව පුළුල් කරමින් ඇත.
හිරාඩරාමනී සමූහ ව්‍යාපාරය ද ඒ මඟ යමින් සිය නිෂ්පාදන කටයුතු වලින් සැලකිය යුතු කොටසක් බංගලාදේශය, වියට්නාමය සහ ඉතියෝපියාව වැනි අප්‍රිකානු රටවල් වෙත ගෙන ගොස් ඇත.
ටීජේ ලංකා (Teejay Lanka) නැමැති ප්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදන සමාගම ද ඉන්දියාව තුළ සිය කර්මාන්තශාලා පුළුල් කරමින් තිබේ. බ්‍රිතාන්‍යයට අයත් ප්‍රකට විදේශීය ඇඟලුම් සමාගමක් වන නෙක්ස්ට් මැනුෆැක්චරින් ද කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ වූ සිය මහන අංශය (Sewing Division) වසා දමන ලදී.
දේශීයව බලශක්ති පිරිවැය අදික වීම නිසා ඇතැම් සෙරමික් නිෂ්පාදකයින් ද සිය කර්මාන්තශාලා ඉන්දියාව වැනි රටවල ස්ථාපිත කිරීමට හෝ එරටින් ඍජුවම නිෂ්පාදනය කර ආනයනය කිරීමට මේ වන විට පෙළැඹී තිබේ.
භෞතික කර්මාන්ත ශාලා නොවුනද, මෙරට පැවැති බදු ප්‍රතිපත්ති හා ආර්ථික අස්ථාවරත්වය මත ලංකාවේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග සමාගම් රැසක් සිය මූලස්ථාන සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ඩුබායි) හෝ ඇමරිකාව වෙත මාරු කරනු ලැබ තිබේ. මේ වන විට රබර් ආශ්‍රිත නිෂ්පාදකයින් ද සිය ව්‍යාපාරික මෙහෙයුම් පිරිවැය අවම කරගැනීම සඳහා ගිනිකොණදිග ආසියානු රටවල් (වියට්නාමය, තායිලන්තය) වෙත සිය අවවධානය යොමු කර ඇත.
මේ අතර, ශ්‍රී ලංකාවේ බියර් වෙළඳපොලෙන් 80% කට වඩා හිමිකම් කියන ලයන් බෘෘවරි සමාගම, මෙරට පවත්නා ඉහළ මධ්‍යසාර බදු පිරිවැයට පිළියමක් ලෙස වියට්නාමයේ Carlsberg සමාගම සමඟ ගිවිසුම්ගතව එරට බියර් නිෂ්පාදනය මේ වන විට අරඹා තිබේ.
කර්මාන්ත සඳහා අහිතකරව බලපා ඇති අධික බදු බර, බලශක්ති පිරිවැය ඉහළ යාම හා වෙනත්, වාසිදායක වෙළඳපොලවල් සහිත රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් මගින් මෙරට නිෂ්පාදනවලට වාසිදායක ප්‍රවේශයක් ලබාගැනීමට කඩිනමින් පියවර නොගැනීම මත මෙම කර්මාන්ත පවත්වාගෙන යාම අතිශය අවදානම් තත්ත්වයකට පත්ව ඇත. ජ.වි.පෙ. පාලනය ඒ පිළිබඳ කිසිදු ධනාත්මක පියවර නොගැනීම විසින් කර්මාන්ත කෙරෙහි බලපා තිබෙන අවදානම පාලනයකින් තොරව ඉහල යමින් ඇතැයි කර්මාන්තකරුවෝ පවසති.
- රවී උදලබණ්ඩාර
