ලෝකයට ම ගිනි තියයි ද?.. – ටකර් කාල්සන් (Tucker Carlson) තමන්ගේ X ගිණුමේ ලියපු ලිපියක්
1 min read
ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු එල්ල කරන දැඩි පීඩනය හින්දා ට්‍රම්ප් ආණ්ඩුව දවස් කීපයක් ඇතුළත ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න ඉඩ තියෙනවා. මේ ප්‍රහාරයේ ඉලක්කය වෙන්නේ ඉරානයේ පිකැක්ස් (Pickax) කන්ද කියලයි කියන්නේ. ඉරාන ආණ්ඩුව ආයෙත් යුරේනියම් සරුකිරීමේ කාර්යය කරන්නේ මේ කන්දේ කියලා ඊශ්‍රායෙල් ඔත්තු සේවා කියනවා. අඩි 300 ක් ඝනකම තියෙන ගල් තට්ටුවක් පසාරු කරගෙන ගිහින් මේ න්‍යෂ්ටික සරුකිරීම කරනවා කියන බිම්ගෙය විනාශ කරන්න පුළුවන් වෙනත් ආයුධයක් ඇමරිකාට නෑ. තියෙන එකම හමුදා විකල්පය තමයි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකිරීම. ඒ ප්‍රහාරය ඉක්මනින් ම එල්ල කරන්න කියලා නෙතන්යාහු ලොකු බලපෑමක් කරනවා. “බීබී හැම දා ම ට්‍රම්ප්ට කෝල් කරලා මේ ගැන කියනවා” කියලා තොරතුරු දන්න කෙනෙක් කිව්වා.
දැන් නෙතන්යාහු හිරවෙලයි ඉන්නේ. උන්නැහේ හොඳට ම අසරණ වෙලයි ඉන්නේ. පහුගිය සතියේ මැතිවරණයෙන් පස්සේ, ට්‍රම්ප් ඊශ්‍රායෙල දේශපාලනයට කෙළින් ම අත දාලා, අනිත් පක්‍ෂවලට බලපෑම් කරලා නෙසෙට් (Knesset) එකේ – ඒ කියන්නේ, ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ, ආසන 61 ක් නෙතන්යාහුට ඇරැගෙන දෙන්නේ නැතිනම් මනුස්සයාට ආණ්ඩුවක් හදන්න බෑ. ඒ වැඩේ කෙරෙන්නේ නැතිනම්, නෙතන්යාහුට අගමැතිකමෙන් අයින්වෙලා නින්දාවට ලක්වෙන්න සිද්දවෙනවා. විමර්ශනවලට මූණදීලා බොහෝ දුරට හිරේ යන්නත් සිද්දවෙනවා. ඒක හින්දා නෙතන්යාහුට ට්‍රම්ප් ළඟ කරක්ගහන්න සිද්දවෙනවා. එයාට මේ යුද්ධය ඕන.
මේ වැඩේ කරගැනීම වෙනුවෙන්, නෙතන්යාහු ට්‍රම්ප් ආණ්ඩුවේ ඉන්න තමන්ගේ ළඟ ම යාළුවන්ටත් උපරිම විදිහට බලපෑම් කරනවා. ආරක්‍ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සහ මධ්‍යම හමුදා විධානයේ (CENTCOM) අණදෙන නිලධාරී බ්‍රැඩ් කූපර් (Brad Cooper) ඒ අතරින් දෙන්නෙක්. ඒ දෙන්නා ම, මේ අවුල් කරගත්ත යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කරනවාට විරුද්ධයි. ඒ දෙන්නා ම, මහා පරිමාණ හමුදා මෙහෙයුමක් ආයෙත් පටන්ගැනීම වෙනුවෙන් උනන්දුයි. රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) සහ CIA අධ්‍යක්‍ෂ ජෝන් රැට්ක්ලිෆ් (John Ratcliffe) දෙන්නත් නෙතන්යාහුගේ පාරේ ම යනවා. ඩිමොක්‍රටික් පක්‍ෂයේ නායකයොත් එහෙම ම තමයි. දෝහාවල දැන් හදාගෙන යන ඉරාන සාම ගිවිසුමට තමන් විරුද්ධයි කියලා ළඟ දී තිබ්බ රැස්වීමක දී, හිටපු ජනාධිපති බැරැක් ඔබාමාත් කිව්වා.
මැද පෙරදිග කලාපයේ ඇමරිකාවේ අනිත් මිත්‍ර රටවල් ඔක්කොම තවත් යුද්ධයක් ඇවිලෙන එක ගැන බයෙනුයි ඉන්නේ. සැප්තැම්බර් 27 වැනි දා, නෙතන්යාහු රහසෙන් ම අබුඩාබිවලට ගිහිල්ලා තියෙනවා. ඉරානයට අවසාන ප්‍රහාරයක් එල්ලකිරීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පොළොඹවා ගන්නයි ඔහු ඒ ගමන ගියේ. ඒ ඉල්ලීමට UAE එකඟවුණේ නෑ.
මාස අටක් තිස්සේ ඇදෙන මේ යුද්ධයෙන් ගල්ෆ් කලාපයේ හැම ආර්ථිකයක් ම අර්බුදයට ලක්වෙලා. ලෝක ඉන්ධන සහ පොහොර වෙළෙඳපොළත් එහෙමයි. ඒවා ඉක්මනට යථා තත්ත්වයට පත්වෙන්නේ නෑ. ලෝකය පුරා ම නිෂ්පාදකයෝ සෙසු රටවල්වලට ඉන්ධන ප්‍රවාහනය කරන මහා නැව් 850 ක් විතර තියෙනවා. ඔක්තෝබර් මාසයේ දී විතරක්, ඒවායින් 11 ක් හෝමුස් සමුද්‍ර සන්ධියේ දී ඉතාමත් බරපතල විදිහට හානියට ලක්වුණා.
මේ වේගයෙන් තවත් ඉස්සරහට ගියොත් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවෙන දවස වැඩි ඈතක නෑ. න්‍යෂ්ටික ප්‍රහාරයකින් මේ විනාශය තවත් ඉක්මන්වෙනවා. පිකැක්ස් කන්ද ආශ්‍රිතව සිද්දවෙන න්‍යෂ්ටික පිපිරීමකින් පිටවෙන විකිරණශීලි දූවිලිවලින් පර්සියන් මුහුදු ම දූෂණය වේවි. ඒ හේතුවෙන් කෝටි 10 ක ජනතාවක් බොන වතුරත් විෂවෙනවා.
මේ මැද පෙරදිග කලාපයට සිද්දවෙන බලපෑම්වලින් කීපයක් විතරයි.
සෙසු ලෝකයත් ඒ වගේ ම අවදානමකයි ඉන්නේ. ඇමෙරිකාව හැර වෙන කිසිම රටක් මේ වෙන කල් යුද්ධයක දී න්‍යෂ්ටික ආයුධයක් පාවිච්චි කරලා නෑ. ඇමෙරිකාව ඉරානයට විරුද්ධව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළොත් ඒක අලුත් පූර්වාදර්ශයක් බවට පත්වෙනවා. ඇමෙරිකාව ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළොත්, තමන්ට යුක්රේනයට විරුද්ධව න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන්න අවසරයක් ලැබෙනවා කියලා රුසියාව දැනටමත් කියලා තියෙනවා. පකිස්තානය සහ ඉන්දියාව වුනත් එකිනෙකාට විරුද්ධව ඒක ම කරන්න පෙළැඹෙයි. උතුරු කොරියාව සියොල්වලට (දකුණු කොරියාවට) ඒ විදිහට ම පහරදෙයි. ඉතින් මුල් ම න්‍යෂ්ටික ප්‍රහාරයෙන් පස්සේ තුන්වැනි ලෝක යුද්ධය ඇතිවීම වළක්වන්න බෑ. ඒ යුද්ධය ඉක්මනින් ම අවසන් වෙයි.
අපි මාස ගානක් තිස්සේ මේ මොහොත දක්වා නින්දෙන් ඇවිදගෙන ආවා. පෙබරවාරි මාසයේ ඉඳලා ට්‍රම්ප් ආණ්ඩුව සද්දේ නැතුව ම ඇමෙරිකාවේ න්‍යෂ්ටික පිළිවෙත වෙනස් කරලා. “සටන් බිමේ න්‍යෂ්ටික ආයුධ” කියන ඒවා මුලින් ම පාවිච්චි කිරීම ලේසි කරලා සහ ඒ සඳහා තියෙන ඉඩ පුළුල් කරලා. වොෂින්ටනයේ කිසිම පක්‍ෂයකට සම්බන්ධ කෙනෙක් මේ ගැන වදවෙනවා කියලා පේන්න නෑ. දැන් අපි ඒ අනතුරේ අද්දරට ම ඇවිල්ලා.
ට්‍රම්ප් න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරනවා ද නැද්ද කියන එක ඊ ළඟ සති අන්තය වෙද්දී තීරණය කරන්න ඉඩ තියෙනවා කියලයි හොඳින් බලාගෙන ඉන්න අය කියන්නේ. ඒ කියන්නේ නොවැම්බර් 7 වැනි දා. ඒ කියන්නේ, අද ඉඳලා දවස් හයකින්. තාමත් පැකිලෙන එක තමයි ට්‍රම්ප්ට ඉතුරුවෙලා තියෙන එක ම නම්බුව. දැන් ට්‍රම්ප් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ටත් තමන්ගේ නියෝජිතයා සහ යාළුවා වෙන ස්ටීව් විට්කොෆ්ටත් ඇහුම්කන් දෙනවා. ඒ දෙන්නා ම කියන්නේ ඉරානය එක්ක ගිවිසුමකට එන්න පුළුවන් කියලයි.
ඒ දෙන්නා හරි. ඒත් ඒක ලේසි නෑ. මොන වාතාවරණයක් යටතේ වුනත් ඉරානය එක්ක සාකච්ඡා කරන එක ලේසි නෑ. පෙබරවාරි මාසයේ දී, අයතුල්ලා අලි කුමේනි සහ එයාගේ පවුලේ අය ඝාතනය කළාට පස්සේ ඉරාන ආණ්ඩුවේ සමහර අය තදින් ම රැඩිකල් වෙලා. දශක ගණනාවක හුදකලාවීමකින් පස්සේ, සාපේක්‍ෂව මධ්‍යස්ථ ඉරාන නායකයන්ටත් බටහිර රටවල් තීරණගන්නේ කොහොම ද කියලා හිතාගන්න අමාරුයි. (උදාහරණයක් විදිහට, ඇමෙරිකානු ආණ්ඩුව විසින් ඊශ්‍රායෙලය මෙහෙයවනවා කියලා ටෙහෙරාන්වල නායකයෝ අතර පුළුල් පිළිගැනීමක් තියෙනවා). ඒත් සමස්තයක් විදිහට, ඉරානයේ තීරණ ගන්නෝ එක්ක කතා කරපු අය කියන්නේ, “යුද්ධය දිග්ගැසීම හැමෝට ම නරකයි, ගිවිසුමක් ඇති කරගැනීම ගොඩක් වටිනවා” කියන අදහසට ඒ අයගේ එකඟතාවක් තියෙනවා කියලයි.
මේ දක්වා, කවුරුවත් ලෝක ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා නෑ. නෙතන්යාහු ට්‍රම්ප්ව තල්ලු කරලා ලබන සතියේ න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කළොත් කෝටි ගානක් මිනිස්සුන්ට තමන්ගේ දරුවොත් එක්ක මැරෙන්න සිද්දවෙනවා. ඒ අයගේ හඬට තාමත් කන්දීලා නෑ. දැන් තමයි ඒ අයට හඬ නගන්න තියෙන වෙලාව.
===
පරිවර්තනය: ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
