යුක්තියේ නාමයෙන් ලන්ඩන් සවාරියක්ද ? විනිසුරුවරුන් 22කගේ විදේශ සංචාරය ගැන බරපතළ ප්‍රශ්න !
1 min read
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් නැවතත් බරපතළ මහජන කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 10 දෙනෙකු සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 12 දෙනෙකු ඇතුළු 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එළඹෙන දෙසැම්බර් 05 වැනිදා සිට සති දෙකහමාරක කාලයක් සඳහා ලන්ඩන් සංචාරයක නිරත වීමට සූදානම් බවට පළවන තොරතුරු හේතුවෙනි.
‘White Christmas’ වැඩසටහනක් වෙනුවෙන් සිදුකෙරෙන බව කියන මෙම සංචාරය සම්බන්ධයෙන් මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ එහි වියදම සහ අරමුණයි. මෙම සංචාරයට වැය වන්නේ මහජන බදු මුදල් නම්, එහි සෑම රුපියලකටම රටට වගකියන්නේ කවුද? ගිණුම්වල මුදල් ඉතිරිව තිබීම පමණක් එවැනි වියදමක් සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත්ද?
ලන්ඩන් සංචාරයට අමතරව ජපාන සංචාරයක් පිළිබඳවද තොරතුරු වාර්තා වීම මෙම ප්රශ්නය තවදුරටත් පුළුල් කරයි. රටේ ආර්ථික දුෂ්කරතා හමුවේ ජනතාවට දැඩි කැපකිරීම් කිරීමට සිදුව ඇති මොහොතක, ඉහළ අධිකරණ නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා රාජ්‍ය මුදල් භාවිත කිරීමේ ප්‍රමුඛතාව කුමක්ද යන්න පැහැදිලි කළ යුතුය.
මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ අධිකරණයේ මහජන විශ්වාසයයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පමණක් නොව, ඔවුන්ට ලබාදෙන වරප්‍රසාද සහ මහජන මුදල් භාවිතයද විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. විනිසුරුවරුන් සම්බන්ධයෙන් කිසියම් අයුතු වරප්‍රසාද හෝ අල්ලස් චෝදනා මතුවන්නේ නම්, ඒවාද ස්වාධීනව සහ සාක්ෂි මත විමර්ශනය කිරීම අත්‍යවශ්‍යය.
මෙම සංචාරවලට අදාළ වියදම්, අනුමැතිය, අරමුණු සහ මහජනතාවට ලැබෙන ප්රතිලාභ පිළිබඳ නිල තොරතුරු හෙළි නොකරන්නේ නම්, සැකසංකා දුරු කිරීම වෙනුවට ඒවා තවදුරටත් වර්ධනය වීම වැළැක්විය නොහැකිය.
අධිකරණය යනු ප්‍රශ්නවලින් ඉහළින් සිටින ආයතනයක් නොවේ. එයද ජනතාවගේ මුදලින් නඩත්තු වන මහජන ආයතනයකි. එබැවින් යුක්තිය පසිඳලන ආයතනයක වගවීම ආරම්භ විය යුත්තේ එහිම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය තහවුරු කිරීමෙනි.
*ජනතාවට නීතියේ ඉදිරියේ වගකියන්නට සිදුවන්නේ නම්, ජනතා මුදල් පරිහරණය කරන බලවතුන්ටද ජනතාව ඉදිරියේ වගකියන්නට සිදුවිය යුතුය. යුක්තියේ නාමයෙන් සිදුවන සෑම වියදමක්ම යුක්තිසහගත විය යුතුය.
- රකිත රඹුක්වැල්ල
