October 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි…

1 min read

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ ඒ හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වී තිබේ.

2022 වසරේ පැවති දැඩි ආර්ථික අර්බුදයෙන් සහ ආර්ථික සංකෝචනයෙන් පසු 2023 සහ 2024 වසරවලදී සියයට 5 ක වර්ධනයක් වාර්තා කිරීමට මෙරට ආර්ථිකය සමත් වූවත්, වත්මන් මැදපෙරදිග අර්බුදයේ ඍජු බලපෑම හේතුවෙන් මෙවර ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මෙහි මූලික ලක්ෂණයක් ලෙස මේ වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4.2 දක්වා පහත වැටී ඇති අතර, එය පසුගිය කාර්තු අටක කාලය තුළ වාර්තා වූ අඩුම වර්ධන අගයයි.

කෙසේ වෙතත්, වසරේ දෙවන භාගය ඇතුළුව සමස්තයක් ලෙස මෙවර ආර්ථික වර්ධන වේගය සියයට 4 ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වසරේ දෙවන අඩ තුළ එනම් ඉදිරි කාර්තු දෙකේදී වර්ධනය සියයට 4 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. සමස්ත වාර්ෂික පුරෝකථනය මෙතෙක් අවසන් කර නොමැති වුවද, ඉකුත් ජනවාරි මාසයේදී ප්‍රකාශිත මහ බැංකු ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4 ත් 5 ත් අතර අගයක පවතිනු ඇති බවට උපකල්පනය කර තිබුණි.

ජනප්‍රිය පුවත්  ඕස්ට්‍රේලියාවේ තෙල් මිල 60%කින් නැගලා! මේක අපට 100%ක් පාලනය කරන්න බෑ!

අනෙක් අතට, මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම සහ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ පරිභෝජනය පහත වැටී තිබුණද, මෙම වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඉකුත් ජුනි මාසයේදී ප්‍රකාශ කර තිබුණි.

රජයේ මෙම පුරෝකථනය පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, එය රජය සතු තීරණයක් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආර්ථික වර්ධනය සියයට 3.5 ක් ලෙස පුරෝකථනය කර ඇති බවයි.

එසේම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද තමන්ගේම උපකල්පන මත පදනම්ව වෙනස් පුරෝකථන ඉදිරිපත් කර ඇති බවත්, මහ බැංකුවට අදහස් දැක්විය හැක්කේ සිය අභ්‍යන්තර පුරෝකථන සම්බන්ධයෙන් පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x