ටිංටිංන්ගේ කතා වස්තුව – පළමු කොටස
1 min read
ටිංටිං ඉපදුණේ කළුතර අලුත්ගම ආසන්නයේය. ටිංටිං පාසල් ගියත් සාමාන්‍ය පෙළවත් හරි හැටි සමත් වූයේ නැත. ඒ කියන්නේ, ලොකු අධ්‍යාපනික හැකියාවක් ටිංටින්ට තිබුණේ නැත. ටිංටිං මේ නිසා ගැටවර වයසේදීම, ගම් පළාතේ තිබූ සංචාරක හෝටලයක සේවකයකු ලෙස රැකියාවක් කරන්නට පටන් ගත්තේය.
හෝටලයේ ‘‘රූම් බෝයි“ රස්සාව කරන අතරතුර ටිංටිංට ජ.වි.පෙ.න් ‘‘කොක්ක“ ගැසුවේය. ටිංටිංලාගේ ගෙදර වූයේ එ.ජා.ප. දේශපාලන පසුබිමක්ය. එබැවින් ජ.වි.පෙ. ටිංටිංලාට ආගන්තුක දේශපාලන සාධකයකි. කොහොම නමුත්, ටිංටිං JVP කොක්කේ ඇමුණුණේය.
JVPය 1983 දී තහනම් කිරීමට පෙර, 1980 අග වන විට ටිංටිං ජෙප්පෙක් බවට පත්වී තිබුණි. මුලදී අර්ධකාලීනවත්, පසුව පූර්ණකාලීනවත්, ටිංටිං ජෙපි භූමිකාව ඉටු කරනු ලැබුවේ ය.
ජ.වි.පෙ. තෙවැනි නායක (පළමු නායක රෝහණ විජේවීර, දෙවැනි නායක සමන් පියසිරි ප්‍රනාන්දු) වූ සෝමවංශ අමරසිංහගේ නිවස තිබුණේ කළුතර පයාගලය. තහනමත් සමඟ සෝමවංශට හැංගෙන්නට සිදුවිය. එහෙත් සෝමවංශගේ බිරිඳ සහ එකම පුතු හැංගුණේ නැත. ඔවුන් සිටියේ පෙර පරිදිම පයාගලම ය.
සෝමවංශ රහසිගතව දේශපාලනය කරන විට, තම බිරිඳ, පුතු සහ ගෙදර දොර ගැන සොයා බලා කටයුතු කරන්නට උපයෝගී කරගත්තේ ටිංටිංවය. ටිංටිං එම පවුල වෙනුවෙන් අවශ්‍ය වූ විට කඩේ ගියේය. අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනවිත් දුන්නේය. ඔහු එය සතුටින් ඉටු කළ බව සෝමවංශගේ බිරිඳ පසුව සිය ස්වාමිපුරුෂයාට පවසා තිබුණි.
පසුව ටිංටිං ජ.වි.පෙ. පූර්ණකාලීනයකු බවට බෞතිස්ම විය. ඒ, 1988 ට පෙරය. දරුණුම කාලය වන විට (1988-89) ටිංටිං සිටියේ වාද්දුව ප්‍රදේශයේ ය. ඒ, එම ප්‍රදේශයේ ජ.වි.පෙ. සංවිධාන කටයුතු සිදු කරමින්ය.
මේ අල්ලපනල්ලේ ජ.වි.පෙ. සන්නද්ධ අංශය (එය නම් කර තිබුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නිමල් කරුණාරත්න සන්නද්ධ බලකාය කියාය.) මේ සන්නද්ධ බලකාය, වාද්දුවේ පිහිටි කුඩා ප්‍රමාණයේ හමුදා කඳවුරකට පහර දීමට තීරණය කළේය.
මේ පහර දීමට අදාළ අවි ආයුධ ටික ගෙනැවිත් බාරදීම පැවරුණේ ටිංටිංටය. ප්‍රහාරයට අදාළ පිරිස රැඳී සිටියේ වාද්දුව හමුදා කඳවුර සමීපයේ ය. ඔවුන් සිටියේ නිරායුධව ය. තුවක්කු රැගෙන ආ යුත්තේ ටිංටිං ය. ගෝනි බෑගයක දමාගෙන තුවක්කු මිටිය කරේ තබාගෙන එමින් සිටියේ ටිංටිං ය.
රේල් පාරේ මෙලෙස පැමිණෙන ටිංටිං දුටු හමුදා භටයකුට ඒ ගැන සැක ඇති විය. ටිංටිං ආයුධ සහිත ගෝනිය කරේ තියාගෙන ආවේ පණ බයෙන්ය. එය දුටු ඕනෑම අයකුට සැක ඇතිවීම අරුමයක් නොවේ. හමුදා සොල්දාදුවා ටිංටිංට නවතින ලෙස නියෝග කළ විට ටිංටිං කළේ ගෝනිය බිමින් තබා අත් දෙක ඔසවා යටත් වීමය. ආයුධ අරන් ටිංටිනං එනතුරු බලා සිටි නිමල් කරුණාරත්න සන්නද්ධ බලකායේ කට්ටිය වහාම සිටි තැනින් විසිර ගියේ ටිංටිංට සිදුව ඇති අකරතැබ්බය ගැන කන වැකුණු වහාම ය. ඒ, ටිංටිංගේ දරාගැනීමේ ශක්තිය ගැන ඔවුන්ට වැටහීමක් තිබුණ නිසාය.
අත්අඩංගුවට ගැනුණු ටිංටිං, අධිකරණ ක්‍රියාදාමයකට භාජනය කර වරදකරුවා වී වසර 8ක සිරදඬුවමක් විඳිනු ලැබුවේ වැලිකඩදී ය.
වැලිකඩ ටිංටිං සිටියේ තමන්ගේ පාඩුවේය. ලෙනින්ගේ වෙළුම් 12න් එකක් තෝරාගෙන කියව කියවා ය. ඒ කාලය තුළ වැලිකඩ සිටි දේශපාලන සිරකරුවන් ගත් සාමූහික ක්‍රියාමාර්ගවලදී ටිංටිං සිටියේ මඟහැරය. මේ බව දන්නේ ඔහු සමඟ එකට වැලිකඩ සිටි ජ.වි.පෙ. සිරකරුවන්ය. ටිංටිංට ඕනෑ වූයේ තවත් ලෙඩ දමා නොගෙන අවුරුදු 8 හොඳින් ගෙවා හැකි විගසින් එළියට ඒමට ය.
ඔය අතරතුර, 1989 විනාශ වූ ජ.වි.පෙ. නැවත ගොඩනඟන්නට 1990 පමණ වන විට ඇතැමුන් වෙහෙස වූහ. ඒ කමල් දේශප්‍රියලා (සෙනවි) හා නන්දන ගුණතිලකලා ය. සෝමවංශ අමරසිංහ සිටියේ රටින් පැනය. ඔහු විදේශගතව සිටිමින් ජ.වි.පෙ. නිල අයිතිය වෙනත් පාර්ශ්වයන්ට කොල්ලකෑමට ඉඩ නොදී එහි නිල අයිතිය අත්පත් කරගත්තේය. අද ජ.වි.පෙ.ට පවන් සලන ලයනල් බෝපගේ ද එදා සිටියේ කෙලී සේනානායක සමඟ විජේවීරගෙන් පසු ජ.වි.පෙ. නමේ අයිතිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් තම නමට ලියාගැනීමේ මෙහෙයුමේය. නමුත් එය අසාර්ථක වූයේ, ජ.වි.පෙ. මැතිවරණ කාර්යාලයට දී තිබූ අවසන් මධ්‍යම කාරක සභා සාමාජික නාම ලේඛනයේ තිබූ නම් අතුරින් ජීවත්ව සිට අයිතිය ඉල්ලන එකම නායකයා සෝමවංශ අමරසිංහ වූ නිසාය.
පසුව ව්‍යවස්ථාපිත ජ.වි.පෙ. නායකයා සෝමවංශ විය. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක විය. ඒ වන විටත් අප්‍රකටව වැඩ කළ කිසිවකුත් ඒ නම් අතරට එකතු කරගත්තේ නැත. වැඩි වශයෙන් සිටියේ විදේශගතව සිටි ජ.වි.පෙ. හිතවතුන්ය.
1991 පමණ වන විට සෝමවංශ අමරසිංහ ප්‍රේමකුමාර ගුණරත්නම් සමඟ ද සබඳතා ඇති කරගෙන තිබුණි. ඒ නන්දන ගුණතිලක මාර්ගයෙනි. පසුව සෝමවංශ, කමල් දේශප්‍රිය හෙවත් සෙනවිට ද, නන්දන ගුණතිලකට ද, ප්‍රේමකුමාර ගුණරත්නට ද වෙන වෙනම යෝජනා කළේ හිරෙන් නිදහස් වී නොබෝ දිනකින් එළියට එන ටිංටිංට පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර දෙන මෙන් ය. ඒ කිසිවකුත් ඊට විරුද්ධ වූයේ නැත.
නන්දන සද්භාවයෙන් තම ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන්නේය. ටිංටිංගේ නම ඒ අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යවනු ලැබුවේය.
වැලිකඩට වී ෂේප් එකේ කාලය ගෙවූ ටිංටිං එකවරම ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් බවට පත්වූයේ ය.
ටිංටිං උපායමාර්ගික විශේෂඥයකු නොවේ. ගැඹුරු දේශපාලන හදාරන්නකු ද නොවේ. එක් අතකින් ඔහු අපූරු “PLAY BOY” කෙනෙකි.
මෙතැන් සිට දිගහැරෙන කතාව ඔබට හිතාගන්නටවත් බැරි කතාවක් වන්නේ ටිංටිං ගැන නොදත් කතා ගොඩක් එළියට එන බැවිනි. ටිංටිං ගැන සැඟවුණු කතා නොදැන දැන් ජ.වි.පෙ. ගැන වටහාගත නොහැක. මේ වැඩේ අපට කරන්නට කීවේ ජනපති අනුර කියා කිසිවකුත් සැක නොකළ යුතුමය.
මතු සම්බන්ධයි –
– උපරිම වමා –
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
