සලේව එල්ලන්න විනිසුරුට මාරුවක් ! යුක්තිය පසිදලීමට ජය !
1 min read
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව හා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ නඩු විභාගයට ගැනුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහියෙහිය. එහි විනිසුරුවරයාව සිටි ඉසුරු නෙත්තිකුමාර මහතා කිසිදු පාර්ශ්වකයකට පක්ෂපාති නොවී හුදෙක් නීතිය හා සාක්ෂි මත පමණක් පදනම්ව සෘජු තීන්දු සහ නියෝග ලබා දෙන ලද සුවිශේෂී විනිසුරුවරයෙකි. එහෙත් මේ වන විට සිදුව ඇත්තේ යුක්තිය පසිදලීමේ කාර්යයේ වෘත්තීමය ආචාර ධර්ම හා ගුණධර්ම රකිමින් ක්‍රියාකළ ඉසුරු නෙත්තිකුමාර විනිසුරුවරයාට හදිසි ස්ථානමාරුවක් අධිකරණ සේවා කොමිසම විසින් ලබාදීමය. ඒ වෙනුවට, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යුක්තියක් පසදලීම සඳහා පත්කර ඇත්තේ ගල්කිස්ස අධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළ පසන් අමරසේන මහතාය.
පසන් අමරසේන මහතා යනු, පසුගිය වසරේ ගල්කිස්ස අධිකරණයේදී වසන්ත සමරසිංහ ඇතුළු ජ.වි.පෙ. නායකයන් කිහිප දෙනෙකුට එරෙහිව පැවැති වංචාසහගතව වෙනත් අයෙකු සතු දේපළක් අත්පත් කර ගැනීම පිළිබඳ නඩුව විභාග කරමින් සිටින ලද අවස්ථාවේ එවකට සිටි විනිසුරුවරිය වහාම වෙනත් උසාවියකට මාරු කර යවා එම උසාවියට පත්කරන ලද විනිසුරුවරයා වේ.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාළ නඩු විභාගයේ දී ඉසුරු නෙත්තිකුමාර විනිසුරුවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අණ කළේ “එක්කෝ අධිකරණයට පිළිගතහැකි සාක්ෂි ඉදිරිපත් කරන්න! නැත්නම් නඩුව අවසන් කරන්න!” යනුවෙනි. එසේම ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විභාගයට ගන්නා තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට දැනටමත් අධිකරණ තීන්දුවක් ලබාදී ඇත. විමර්ශන ආයතනවලට අවශ්‍ය පරිදි කාලය නාස්ති කරමින්, සාක්ෂි රහිතව පුද්ගලයන් අපහසුතාවයට පත් කිරීමේ ක්‍රමවේදයට අධිකරණය ඉඩ නොදෙන බව ඉන් මනාව තහවුරු විය.
ඉසුරු නෙත්තිකුමාර මහතාගේ මධ්‍යස්ථභාවය සහ සෘජු බව වඩාත් ඉස්මතු වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේ මහතාගේ නඩුවේදීය. එහිදී සැකකරුවකු වුව ද ඕනෑම පුරවැසියෙකුට හිමි මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලේ මහතාට සිදුකර ඇතැයි කියන වධහිංසාවන් ගැන ඔහුගේ නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ බරපතල හා සංවේදී අනාවරණයක් සිදු කරන ලදී.
ඒ මෙසේය,
“තෙවන සැකකරු අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු, රාත්‍රියේ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහුගේ සිරකුටියට ඇතුළු වී, ඔහුව ඉවතට රැගෙන ඔහු නිරුවත් කර, ශරීරය ඉදිරිපසට වන ලෙස අත් වලට විලංගු දමා, එම නිලධාරීන්ට පිටු පා ඉදිරියට නැමීමට සලස්වා සියලුම අනෙක් රැඳවියන් ඉදිරියේ ඔහුගේ ශරීරය පරීක්ෂා කිරීමක් සිදුකර ඔහුව කෘෘර, අමානුෂික හා නින්දිත සැලකීමකට ලක්කර ඇත.
මෙම අධි සංවේදී කරුණු දැක්වීම හමුවේ වහාම ක්‍රියාත්මක වූ ඉසුරු නෙත්තිකුමාර මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණ මානසික වෛද්‍යවරයෙකු, පෝෂණවේදියෙකු සහ අක්ෂි රෝහල වෙත යොමු කරන ලෙස නියෝග කළේය. තම නියෝග අකුරටම ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ ඔහු යම් නියෝගයක් ක්‍රියාත්මක වී නොතිබුණහොත් අධිකරණයට අපහාස කිරීම යටතේ පියවර ගන්නා බවද අවධාරණය කළේය.
මේ නඩු විභාගයේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් විසින්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන “චිත්‍රපට කතාවක්” ගොඩනැගීමට උත්සාහ දරමින් සිටියදී ඉසුරු නෙත්තිකුමාර විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, “මේ සිද්ධීන් අතර සම්බන්ධයක් නැතිව විමර්ශකයන්ගේ මතවාද හැරෙන්න ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ඉදිරිපත් වී තිබේද ? යන්නයි. විනිසුරුවරයා එහිදී දිලීප පීරිස් වෙත ලබා දුන්නේ බලවත් අවවාදයකි.
“මේ විමර්ශනයත් සමඟ සෙල්ලම් කරන්න එපා ! සියලු පාර්ශ්වයන්ට මේ කියන්නේ. මේක ක්‍රීඩාවක් නොවෙයි. මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක්. සියල්ල අවසානයේ යුක්තිය ඉටුවීමට නම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකරන්න පුළුවන් වෙන්න ඕනා. එය හිතේ තියාගෙන තමයි අධිකරණය සෑම ප්‍රකාශයක් දිහාම බලන්නේ. එතනින් පල්ලෙහා තියෙන මතවාද දෙස අධිකරණය සැකයෙන් තමයි බලන්නෙ.”
පරිවේශනීය සාක්ෂි මත නඩුව ගොනු කරන්නනම් ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගෙතී තිබිය යුතු බවත්, ඔප්පු නොකළ කරුණු ඔප්පු කලා සේ සිතා කරුණු දැක්වීමෙන් වළකින ලෙසත් ඔහු පැමිණිල්ල තරයේ අවවාද කළේය.
විනිසුරු වෘත්තිය, එයට හිමි වෘත්තීමය සදාචාරය හා ගුණාංග සහිතව ඉටු කර තිබෙන ඉසුරු නෙත්තිකුමාර මහතා හදිසියෙන් මාරුකර තිබෙනුයේ ඔහු සතු එම ගුණාංග ඔහුට එරෙහිව බල පා තිබෙන නිසා බව අධිකරණ ක්ෂේත්‍රයේ මහත් කතාබහක් මේ වන විට ඇති වී තිබේ.
ඊයේ (01) පැවැති මැයි දින රැලි වලදී ජනාධිපතිවරයා හා ඇමතිවරු කිහිප දෙනෙකුම ඉදිරියේ දී ලැබෙන්නට නියමිත නඩු තීන්දු ගැන අනාවැකි ඵල කරන ලදී. එමගින්ද ගම්‍ය වන්නේ තමන්ට අවශ්‍ය තීරණය නිසැකවම ලැබෙන නඩු විභාග කිරීමේ ක්‍රමයක් අධිකරණ පද්ධතිය තුළ සිදු කරන බවයි. ඉසුරු නෙත්තිකුමාර විනිසුරුවරයා එවැනි ක්‍රමවේදයකට ගැළපෙන අයකු නොවන නිසා අගවිනිසුරුවරයාගේ බලපෑම මත අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් මෙම මාරු කිරීම හා නව විනිසුරුවරයා පත් කිරීම සිදු කර තිබේ.
– විශේෂ අධිකරණ වාර්තාකරු –