භාණ්ඩාගාරයේ සංචිත ට්‍රිලියනයක් නෑ | ආණ්ඩුවේ තවත් බොරුවක් අතේ පත්තුවෙයි
1 min read
මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව, 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය අවසන් වන විට මහා භාණ්ඩාගාරයේ අවසාන මුදල් ශේෂය (Closing Cash balance) රුපියල් බිලියන 110.72 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ. නිල දත්තයන්ට අනුව, 2024 දෙසැම්බර් 31 වනදා වන විට මහා භාණ්ඩාගාරය සතුව පැවති අවසාන මුදල් ශේෂය රුපියල් බිලියන 805.11 කි.
එහෙත් 2025 වර්ෂයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් සමඟ 2025 දෙසැම්බර් 31 වනදා වන විට භාණ්ඩාගාරයේ සැබෑ අවසාන මුදල් ශේෂය රුපියල් බිලියන 915.83 ක් දක්වා වර්ධනය වී ඇත.
මෙය 2024 වසරට වඩා පැහැදිලි ඉහළ යාමකි.
රාජ්‍ය මූල්‍ය වාර්තාවලට අනුව පසුගිය වසර කිහිපය තුළ එක් එක් වර්ෂය අවසානයේ භාණ්ඩාගාරය සතුව පැවති මුදල් ශේෂයන් මෙසේය.
2023 දෙසැම්බර් 31 වන විට (සැබෑ ශේෂය): රුපියල් බිලියන 599.52
2024 දෙසැම්බර් 31 වන විට (සැබෑ ශේෂය): රුපියල් බිලියන 805.11
2025 දෙසැම්බර් 31 වන විට (සැබෑ ශේෂය): රුපියල් බිලියන 915.83
භාණ්ඩාගාර දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ 2023 වසරේ සිටම රජයේ අවසාන මුදල් ශේෂය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවයි. 2023 වසරේ පැවති බිලියන 599.52 ක ශේෂය 2024 වන විට බිලියන 805.11 දක්වා ඉහළ ගිය අතර, 2025 වසර අවසන් වන විට එය තවත් රුපියල් බිලියන 110.72 කින් ඉහළ ගොස් බිලියන 915.83 ක මට්ටමක පවතී.

