පොලිස්පතිට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පියවර ඉල්ලූ ගම්පහ මහේස්ත්රාත්වරයාට හදිසියේ ස්ථාන මාරුවක් !
1 min read
අධිකරණය ලබාදුන් නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවට තීරණය කරමින්, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ ගම්පහ මහේස්ත්රාත් බන්දුල ගුණරත්න වහාම ක්රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත මාරු කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්රසන්න අල්විස් විසින් ගම්පහ මහේස්ත්රාත් බන්දුල ගුණරත්න ස්ථාන මාරු කරමින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත.
අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන්ම ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙස මහේස්ත්රාත්වරයා මීට පෙර අවස්ථාවකදී පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි. ඒ අනුව පොලිස්පතිවරයා කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කරන ලෙස මහේස්ත්රාත්වරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, එම පැමිණිල්ලට අදාළව නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්රාත්වරයාට දැනුම් දී තිබුණි.
මහේස්ත්රාත්වරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු මෙලෙස වහාම ක්රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර ඇත.
- රංග කලන්සූරිය
