නෛතික ලිංගිකත්වය ?
1 min read
වෛද්යමය සැත්කම් මගින් ලිංගිකභාවය වෙනස් කර ගැනීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම ශ්රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්රභ කරන ලද බව ඊයේ මාධ්ය වාර්තා පළ වුනා. එම වාර්තාවලට අනුව එය නිෂ්ප්රභ කිරීමට ප්රධාන හේතුව වෙලා තියෙන්නෙ කාලාවරෝධ සංකල්පය. එනම් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩවී මාසයක් ඉක්ම යෑමට පෙර අදාළ පෙත්සම ඉදිරිපත් කළ යුතුයි යන සංකල්පය.
එම පදනමින් මෙම පෙත්සම නිෂ්ප්රභ නොකළ යුතුව තිබුණ බවයි අප හිතන්නෙ. පළවෙනි කාරණය තමා මෙම සංකල්පය වර්තමානයේ යල්පැන ගිය නීතියක් වීම. ව්යවස්ථාවක් යනු සජීවී ලියවිල්ලක්. ඒ අනුව පුරවැසියන්ට විවිධ අවස්ථාවවල තමා පාලනය වන ව්යවස්ථාව ගැන මූලික අයිතිවාසිකම් ගැටළු මතුවිය හැකියි. විශේෂයෙන් ම ජාතික වැදගත්කමකින් යුතු කාරණා සම්බන්ධයෙන් එසේ විය හැකියි.
ශ්රේෂ්ඨාධිකරණයට යන්නෙ එවන් අවස්ථාවවල. එහි දී අධිකරණය කිසියම් නීති සංකල්පයක් කාලය තුළ මුදවාලු (frozen) දෙයක් ලෙස සලකා ඊට ප්රතිචාර දැක්වීම නොකළ යුතුයි.
දෙවැනි කාරණය මෙම පෙත්සම විභාගයට ගත්තේ නම් ප්රස්තුත ලිංගිකභාවය ගැන සමාජයේ අලුත් සංවාදයක් ඇති විය හැකිව තිබුණා. ඒ පිළිබඳ තිබෙන නීති සහ වෛද්යමය තර්ක සේම සමාජ සහ දාර්ශනික තර්ක ඉහළ මට්ටමින් සංවාදයට බඳුන් කළ හැකිව තිබුණා. එය සමාජ පෝෂණයට බෙහෙවින් වැදගත් විය හැකි කරුණක්. බොහෝ රටවල මේ වැනි හරයාත්මක නෛතික කාරණා සංවාදයට බඳුන් කරනවා.
තුන්වැනි කරුණ නම් කාලාවරෝධ සංකල්පය පරම නීතියක් නොවන බව ශ්රේෂ්ඨාධිකරණය ම පෙන්වා දී තිබෙනවා. උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදය ගැන මූලික අයිතිවාසිකම් නඩුව පෙත්සම කාලාවරෝධයට හසුව තිබූ එකක්. එහෙත් එසේ තිබියදීත් ශ්රේෂ්ඨාධිකරණය එය විභාගයට ගත්තා පමණක් නෙමෙයි, අදාළ පෙත්සම්කරුගේ පෙත්සම පිළිගත්තා. එය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් කියන තර්කයයි ඉදිරිපත් වුනේ.
මෙම ලිංගිකභාවය වෙනස් කිරීම ගැන කාරණයත් පෙත්සම්කරුගේ පුද්ගලික කාරණයක් නෙමෙයි, ඊට ද පළල් මහජන අභිලාෂ තිබෙනවා. එසේම මහජන අවධානය තිබෙනවා. විශේෂයෙන් 2015 ඉදිරිපත් කළ මෙම චක්රලේඛ ඉදිරිපත් වුනේ පුළුල් මහජන කතිකාවකින් නෙමෙයි.
ඒ අනුව, නීතිපති විසින් ඉදිරිපත් කළ කාලාවරෝධ තර්කය මත පෙත්සම නිෂ්ප්රභ කිරීම වර්තමානය වන විට අධිකරණයන්ට අලුතින් ආරෝපණය වී ඇති, ආචීර්ණකල්පිත නීති සීමා ඉක්මවූ, සමාජ-ව්යාවස්ථා වගකීම (socio-constitutional morality) මෙන්ම පුරවැසි සවිඥානිකබව යන නව තත්ත්වයන්ට පටහැනි බව කිව යුතුයි
- Mahinda Pathirana
