දියවන්නාව කොළ වෙයි
1 min read
කෝට්ටේ දියවන්නා ඔය මේ වන විට කොළ වර්ණිතව දැඩි ලෙස අපවිත්‍ර වී තිබේ. අවට ප්‍රදේශයන්හි අප ජලය මෙන්ම නිවෙස්වල මළනාළිකා පද්ධති ද මෙම ඔයට ගලා යාමට සැලැස්වීම මෙම තත්ත්වයට මූලිකම හේතුව වී ඇත. මෙම මළනාළිකා පද්ධති බුත්ගමුව හීනටිකුඹුර ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා2015 වසරේ දී ජපානයේ ජයිකා ආධාර යටතේ ආරම්භ කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය ජනතාවගේ විරෝධය මත නතර කිරීමට සිදුවීම මෙම තත්ත්වයට තවත් හේතුවකි. එවකට නගරාධිපති මධුර විතානගේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සාහයක් ගත් නමුත් එය අසාර්ථක වී තිබේ. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් බිලියන අටකි.
දියවන්නා ඔය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් පසුගිය දා පැවැති කෝට්ටේ මහ නගර සභා රැස්වීමේ දී දැඩි අවධානයට ලක් විය.
මේ සම්බන්ධයෙන් අවධානයට ලක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි ප්‍රභාත් විද්‍යාපති ය. 2015 වසරේ ආරම්භ කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය අසාර්ථක වීම දියවන්නා ඔය අපිරිසුදු වීමට ප්‍රධාන ම හේතුව යැයි කී මන්ත්‍රිවරයා ඒ බව එම වසරේ දී පරිසර සංවිධාන නියෝජිතයන් පැවැසූ බවත් කියා සිටියේ ය.
ඔයේ වත්මන් අපවිත්‍ර තත්ත්වය සම්බන්ධයෙන් තමන් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබෙන බව නගරාධිපති අරෝෂ අතපත්තු සඳහන් කළේය. ජයිකා ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවත් එදා රුපියල් බිලියන අටක ඇස්තමේන්තුවකින් කළ හැකිව තිබූ දේ අද ක්‍රියාත්මක කිරීමට බිලියන විස්සක්වත් වැය වනු ඇතැයි ද හෙතෙම පැවැසීය. සිය නගරාධිපති කාලසීමාව අවසාන වීමට පෙර චීන රාජ්‍යයේ ව්‍යාපෘතියකින් දියවන්නාව පවිත්‍ර කරන බව ද නගරාධිපතිවරයා සඳහන් කළේය.
