ඉබෝලා මට්ටුවට IDH සූදානම්
1 min read
ශ්‍රී ලංකාව තුළදී ඉබෝලා රෝගියකු හෝ සැකකටයුතු රෝග ලක්ෂණ ඇති පුද්ගලයකු හමුවුවහොත් ප්‍රතිකාර ලබා දීමට අයි.ඩී.එච්. රෝහල සුදානම් කර ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා පැවැසුවාය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඊයේ (01වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට අවශ්‍ය සූදානම් සැලසුම් සහ පෙරහුරුවීම් සිදුකර ඇති බවය.
ඉබෝලා ව්‍යාප්තිය වාර්තා වූ කොංගෝව සහ උගන්ඩාව වැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් පිළිබඳ විශේෂ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවද එම රටවලින් පැමිණෙන සියලුම මගීන් පරික්ෂාවට ලක්කරන බවද ඇය සඳහන් කළාය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකය (Quarantine Unit) මගින් ගුවන් තොටුපොළ සහ වරාය හරහා පැමිණෙන මගීන් නිරීක්ෂණය කරන අතර, සැකකටයුතු රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු වසංගත රෝග විද්‍යා අංශයට වහාම දැනුම් දෙන බව ඇය පැවැසුවාය.
මේ වනවිට ඉබෝලා වයිරසය මගින් ව්‍යාප්ත වෙනු ලබන්නේ බුන්ඩි බුග්යෝ ප්‍රභේදය බවද විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියාය.
මෙම වයිරසය වැළඳීමෙන් සිදුවන මරණ අනුපාතය සියයට පනහක් පමණ වන බවත් මේ වනවිට ලොව පුරා සැකකටයුතු රෝගීන් 246ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයන් 65 සිට 80 දක්වා ප්‍රමාණයක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අධික උණ, ඇඟ පත රිදීම, වමනය, පාචනය සහ ශරීරයෙන් ලේ ගැලීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ.
මේ සඳහා තවමත් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති නිසා රෝගය පාලනය කිරීම අභියෝගයක් වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
