June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොහොම ද ටිකිරි මොලේ ?

1 min read

මේ ඉන්නේ කතෝලික සභාවේ වත්මන් කොළඹ අගරදගුරුතුමා ය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ දෙවැනි කාඩිනල්වරයා ය. නමින් පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් ය. හැමෝම කියන්නේ මැල්කම් රංජිත් කාඩිනල්තුමා කියා ය.

මෙතුමාට වයස අවුරුදු 79 ලබන්නේ ලබන නොවැම්බර් 25 වැනිදාට ය. අගරදගුරු තණතුරේ වයස අවුරුදු 79 දක්වා සිටි වෙනත් අගරදගුරුතුමකු ගැන අප අසා නැත. කතෝලික සභාවේ පවත්නා නීතියට අනුව (Canon Law 401) සෑම රදගුරුතුමෙකුම වයස අවුරුදු 75 සපිරෙනවිට පාප්වහන්සේ වෙත තම විශ්‍රාමයාමේ ලිපිය භාර දිය යුතුය.

මීට පෙර සිටි තෝමස් කාදිනල් කුරේ අගරදගුරුතුමන් විශ්‍රාම ගියේ වයස අවුරුදු 75 දීය. නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුතුමන් විශ්‍රාම ගියේ වයස අවුරුදු 69 දී ය. සෞඛ්‍ය හේතුන් මත නිල වයස් සීමාව ට පෙර එතුමන් විශ්‍රාම ගත්තේ ස්වේච්ඡාවෙන්ම ය. ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන් විශ්‍රාම ගියේ වයස අවුරුදු 76 දී ය. එසේ වූයේ එතුමාට වයස අවුරුදු 75 සැපිරීමෙන් පසු නව අගරදගුරුතුමන් පත් කරන තෙක් වසරක්ම බලාසිටින්නට සිදු වූ නිසාය.

කතෝලික සභාවේ නීතියට අනුව තමන්ට වයස අවුරුදු 75 සම්පූර්ණ වූ 2022 නොවැම්බර් මාසයේ දී මැල්කම් රංජිත් අගරදගුරුතුමා සිය තණතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වතිකානුවට යොමු කළේය. ශ්‍රී ලංකාවේ පවත්නා තත්වයන් සැලකිල්ලට ගෙන තවදුරටත් එම තණතුරේ සිටින ලෙස වතිකානුව මැල්කම් රංජිත් අගරදගුරුතුමන්වෙත දන්වනු ලැබුවේය.

ජනප්‍රිය පුවත්  සීනි කඩේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූයේ 2019 අප්‍රේල් 21 ය. වතිකානුව සලකා බැලූ “ශ්‍රී ලංකාවේ පවත්නා තත්වය” යනු පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ ඇති වූ තත්වය බව පැහැදිලිය. එම තත්වය FBI හෝ වෙනත් විදේශීය විමර්ශක ආයතනයකින් හෝ දෙනු ලබන අවසන් නිගමනය පිළිගෙන අවසන් වුවහොත්, විශ්‍රාම යන වයසද ඉක්මවා කොළඹ අගරදගුරු තණතුරේ තවදුරටත් රැඳීසිටින්නට කාඩිනල්තුමන්ට හැකිවන්නේ නැත. පාස්කු විමර්ශනය මෙගා ටෙලි නාටකයක් ලෙස “දෙවෙනි ඉනිම” සේ ඉදිරියට ගලා ගියහොත්, වතිකානුව සලකා බැලූ “ශ්‍රී ලංකාවේ පවත්නා තත්වය” එසේම පවතින්නේය. වතිකානුවට ද රදගුරුතුමෙකුගේ ධූර කාලය දික්ගැස්සිය හැක්කේ අදාළ රදගුරුතුමන්ගේ වයස අවුරුදු 80 වනතෙක් පමණි. මැල්කම් රංජිත් කාඩිනල්තුමන්ට වයස අවුරුදු 80 ලබන්නේ 2027 නොවැම්බර් 25 වැනිදාට ය. ඒ දක්වා මහමොළකරු සෙවීමේ නාටකය දිගු කර ගැනීම කාටත් වඩා උවමනා මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ට ය. ඒ කුමක් හේතුකොටගෙනදැයි අප අමුතුවෙන් කිව යුතු නැත.

කාඩිනල්තුමා මුලින් කීවේ “පාස්කු ප්‍රහාරය පිටුපස බලගතු විදේශ බලවේගයක් සිටිනවා” කියාය. ටික කාලයකට පසු කීවේ මෙම ප්‍රහාරය පසුපස “ලොකු මසුන්” (Big Fish) සිටින බවය. අවසානයේ දී කීවේ මහමොළකරුවකු සිටින බවය.

ජනප්‍රිය පුවත්  ශිෂ්ටාචාර ජාතියක මහිමය!

ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසුව පමණක් නොව, සහරාන්ලා පොලිස් නිලධාරින් දෙදෙනකු මරා දැමීමෙන් පසුව ද වගේ වගක් නොමැතිව සිටි රවී සෙනෙවිරත්නට හා ශානි අබේසේකරට පොලීසිය බාර අමාත්‍යංශය හා රහස් පොලීසිය බාර දෙන්නැයි කාඩිනල්තුමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තුවේ දී කීවේ සභානායක අමාත්‍ය බිමල්ය. එසේනම්, මේ ප්‍රහාරයට වගකිවයුතු චූදිතයන් දෙදෙනෙකු යටතට පරීක්‍ෂණ බාර කළේ කුමන හේතුවක් නිසා ද? සැබෑ ලෙසම පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම පිණිසද? ඔවුන්ට අයුක්තිය සිදුවන්නට ඉඩ දී ඔහේ බලා සිටිය රවී සෙනවිරත්නගෙන් හා ශානි අබේසේකරගෙන් බලාපොරොත්තු වියහැකි යුක්තිය කුමක් ද? මේ බව මැල්කම් රංජිත් කාඩිනල්තුමන්ට නොතේරේ ද? ඒ බවද නොතේරෙන අයකු ලෙස අප එතුමන් ගැන සිතිය යුතු ද?

දැන් මේ ගෙවෙන්නේ 2026 ජුනි ය. මේ වසරේ නොවැම්බර් 25 නිමාවනතෙක්ම “මහමොළකරු” සොයා ගන්නේ නැත. ඉන් පසුව ඇත්තේ වයස අවුරුදු 80 ව උදාවෙන 2027 ය. 2027 දී මහමොළකරුවා සොයාගත්තත් ගොඩය. නැතත් අවුලක් නැත. මැල්කම් රංජිත් අගරදගුරුතුමා වයස අවුරුදු 80 සැපිරෙන තුරු එම ධූරයේ රැඳී සිටින්නේ මේ මාලානාටකයට පින්සිදුවෙන්නට ය.

එවන් වැඩකටනම් රවීලා උවමනාය. ශානිලා ඕනෑමය. “දෙවෙනි ඉනිම” ටත් වඩා දිගට මෙවැනි මාලා නාටකයක් ඇදගෙන යන්න පුළුවන් ශානි වගේ පිටපත් රචකයකුට ය. ඒ අතින් නම්, මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ තේරීම ටක්කෙටම හරිය.

ජනප්‍රිය පුවත්  පටේ පට්ට !

අපට කැට තබා එකක් කිව හැකිය. ඒ 2027 වන විට “මහමොළකරු” හොයාගෙන හෝ නොවීම ඉවරකර හෝ මේ මාලානාටකය නියත වශයෙන්ම ඉවර වනු ඇති බවය. ඒ දක්වා කාලය තුළ දුක් විඳින්නට වෙන්නේ සලේට පමණක් ද, තවත් කාට ද යන්න තීරණය වන්නේ මාලානාටකයට ප්‍රේක්ෂාගාරයෙන් ලැබෙන “රේටින්ග්ස්” මතය.

ආර්ථිකයේ වර්ධනය වන මහා අර්බුදය කෙරෙහි අවධානය යොමුවීම වලකා සමාජ සාකච්ඡාව මෙබඳු “මාලානාටකයකට” යොමු කර තබාගැනීම ආණ්ඩුවටද අවුලක් නැත. ඒ නිසා, කටුවාපිටියේ හෝ තවත් කොතැන හෝ ඉන්නා ඇත්ත වින්දිතයෝ තේරුම්ගත යුත්තේ සියළු දෙනා එක්ව, මියගිය හා ආබාධිත වූ ඔබේ සමීපතමයන්ගේ ජීවිත පිළිබඳ කතාව “රියැලිටි ෂෝ” එකක් බවට පත්කරගෙන වාසි ගනිමින් ඉන්නේ කවුදැයි කියාය.

එය වටහාගැනීම, ඔබේ මියගිය හෝ ආබාධිත වූ සමීපතමයන් විකුණාගෙන කෑමට එරෙහිවීමට අවශ්‍ය ශක්තිය ඔබ තුළ උපදවනු නිසැකය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x