කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ගැලවෙයි
1 min read
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ පිහිටි සුප්‍රසිද්ධ කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලෙහි සවි කර තිබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.
ඒ එම ගොඩනැගිල්ලෙන් සහ එහි මෙහෙයුම් කටයුතුවලින් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමට අධිකරණය ලබා දී තිබූ අවසන් දිනය දීර්ඝ කරන ලෙස කෙනඩි මධ්‍යස්ථානයේ පාලනාධිකාරිය කළ ඉල්ලීම් සියල්ලම ඊයේ (12) දිනයේ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමකය.
මෙම අධිකරණ නියෝගයත් සමඟ ඊයේ පස්වරුවේම සේවකයින් පිරිසක් පැමිණ, ගොඩනැගිල්ලේ ට්‍රම්ප්ගේ නම සහිත අකුරු ගැලවීම සඳහා ඒ වටා පලංචි සවි කිරීමට පියවර ගෙන ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භයේ දී මෙම කලා මධ්‍යස්ථානයේ පැරණි පාලක මණ්ඩලය ඉවත් කර, ඒ වෙනුවට ඔහුගේ හිතවතුන් පිරිසක් පත් කරමින් එහි සභාපතිත්වයද ලබා ගත්තේය.
ඉන්පසුව ඔවුන් විසින් ගොඩනැගිල්ලේ නමට ට්‍රම්ප්ගේ නමද එකතු කරනු ලැබීය.
කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුව ලබා දුන් එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර් ප්‍රකාශ කළේ, මෙම ජාතික මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමට බලය ඇත්තේ අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට පමණක් වන බවය.
එමෙන්ම, මහා පරිමාණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යැයි පවසමින් ඉදිරි වසර දෙකක කාලයට මෙම කලා මධ්‍යස්ථානය වසා දැමීමට ට්‍රම්ප් පරිපාලනය ගෙන තිබූ තීරණයද විනිසුරුවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළේය.
ඒ අනුව දැනටමත් කෙනඩි මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඉදිරියේ දී ආයතනික ලියකියවිලි, ඊමේල් අත්සන් සහ ලිපි ශීර්ෂ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම භාවිත නොකර කෙනඩි මධ්‍යස්ථානය යන නම පමණක් භාවිත කරන ලෙස ද එහි ප්‍රධාන නීති අංශය විසින් සේවකයින්ට උපදෙස් ලබා දී තිබේ.
