June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උපුල්ට වෙඩි තැබූ හැටි…!

1 min read

ජෙප්පො කියන්නෙ සාමාන්‍යයෙන් සහකම්පනය තියන ජාතියක් නෙවෙයි. ඒත් මේ දවස් වල ජෙප්පො සහකම්පනයට ලක්වෙලා හොටු පෙරණවා අපි දකිනවා.

ඒ තමයි උපුල් කුමරප්පෙරුමගෙ පුතාගෙ වියෝව වෙනුවෙන්… මම මේ පෙන්වන්න හදන්නෙ ජෙප්පො මේ අඩන්නෙ බොරුවට බව ඔබට කරුණු ඇතුවම, සාක්ෂි ඇතුවම පෙන්නලා දෙන්න…

මේ කතාව ලියන්න කලින් මම ඒ දරුවට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. !!!

මේ ලිපියේ කරුණු හේතුවෙන් මෙම කණගාටු දායක මොහොතේ උපුල් හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුගේ හිත් පෑරෙන එකක් නෑ කියලා හිතන නිසාත්, මේක ලියන්න මේක තරම් තත්කාලයක් නැහැ කියලා හිතන නිසයි මම මේක ලියන්නේ…

උපුල්ගෙ පුතාගෙ අභාවය වෙනුවෙන් අද හොටු පෙරන ජෙප්පො, මීට අවුරුදු එකහමාරකට කලින් උපුල්ගෙ දේශපාලන ගමන නැත්තටම නැති කළා.

මාතරින් අංක එකට දිනන්න ඕන මිනිහව සැලසුම් සහගතව පරාද කරලා, මාතරට කැළලක් වෙන ජාතියෙ හැඩි ජෙප්පො රොත්තක් පාර්ලිමේන්තුවට ගත්තා. ඇත්තම කියනවා නං එදා ජෙප්පො පරාද කළේ උපුල් කුමරප්පෙරුම කියන මිනිහා විතරක් නෙවෙයි… මාතරින් බිහිවෙන්න තිබ්බ කෘතහස්ත තවත් දේශපාලඥයෙක් තමයි උන් අපට නැතිකළේ. එහෙමත් නැත්තං මේ රටේ බිහිවෙන්න තිබ්බ වැඩදායක සහ ගරුසරු අධිකරණ ඇමතිවරයෙක් තමයි ජෙප්පො උන්ගෙ පටු තීන්දු නිසා නැතිකරලා දැම්මෙ.

ජෙප්පො, උපුල් කුමරප්පෙරුමට ෂොට් එක දීපු හේතු සහ කතාව කියන්න කලින් මාලිමාව හැදුණු හැටි මම කියන්නම්…

2015 න් පස්සෙ කාලෙ වෙද්දි ජවිපෙ ප්‍රතිසංවිධානය කරමින් දේශපාලන අත්හදා බැලීම් කළත් ඒ කිසි දේකින් ජනතාව තමන් වටා රොක් වෙන්නෙ නෑ කියලා අනුර කුමාර දිසානායකට හොදින්ම තේරිලයි තිබුණෙ. ඒ වෙද්දි අනුර කුමාර එක එක පොරවල් හමුවෙලා මේකට විසදුම් අහ අහ රස්තියාදු ගහ ගහ තමයි හිටියෙ. අනුර දැනගෙන හිටියා ටිල්වින් වගේ කල්ඉකුත් වුණු අයගෙන් අලුත් ගමනක් යන්න පාර අහලා වැඩක් නෑ කියලා.

ඔන්න ඔය කාලෙ දවසක හවසක, අනුර කුමාර දිසානායක උපුල් කුමරප්පෙරුමගෙ ගෙදර එනවා. ඒ වෙලාවෙ උපුල් විස්කි ෂොට් එකත් ගහලා ආතල් එකේ ඉන්න වෙලාව. අනුර එළිපිට බොන්නෙ නැති නිසා ටොනික් ෂොට් එකක් ගහමින් කතාවට මුළපිරුවා….

“උපුල්, මේ තත්වෙන් ගියොත් තව අවුරුදු ගාණක් ගියත් අපට ආණ්ඩුවක් ගන්න බැරිවෙයි වගේ…”
අනුර කඩවූ බලාපොරොත්තු ඇතිව කිව්වා….

“මචං… උඹලා ඔය කරන විදියට මේ ගමන යන්න බෑ තමයි. අපි මධ්‍යම පංතිය පක්ෂෙ ඇතුළට ගත්තෙ නැත්තං අපිට දිනන්න බෑ.”

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. ටිංටිං ගැන ඔබ නොදත් කතාව හෙට සිට!

උපුල්, අනුරට එහෙම කිව්වා.

“ඉතිං සහෝදරයා ඒක කරන්න මොනවද අපි කරන්න ඕන ?”

මධ්‍යම පංතිය තමන්ගෙ ව්‍යාපාරයට ඇතුළත් කරගන්න හැටි ඒ වෙනකොටත් දැනගෙන හිටපු නැති අනුර උපුල්ගෙන් එහෙම ඇහුවා.

“මචං… අපි ඉස්සෙල්ලා රතුපාට අයින් කරනක්න ඕන… සීනුව අයින් කරන්න ඕන… ඒ විතරක් නෙවෙයි මචං, අපි ජවිපෙත් අයින් කරන්න ඕන. අපි ජවිපෙන් සම්පූර්ණයෙන් වෙනස් වුණු අලුත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන.”

රතුපාට වෙනුවට රෝස පාට එන්නේත්, සීනුව වෙනුවට කොම්පාස් එක එන්නේත්, ජවිපෙ වෙනුවට මාලිමාව එන්නේත් අනුරට නොතේරුණු, උපුල් කුමරප්පෙරුම පුරවා දුන් ප්‍රහෙළිකාව අනුවය.

ඒ කියන්නේ, ‘මාලිමාව’ නමැති මහා ජන පවුරේ නිර්මාතෘවරයා උපුල් කුමරප්පෙරුම ය.

එක් වැරැද්දක් සිදු වුණේය. උපුල්ගේ ශුක්‍රාණුව, එක් වූයේ ටිල්වින් සිල්වාගේ ඩිම්බයක් එක්කය. ඒ අනුව පිළිසිදගත් කළලය ජවිපෙ බඩෙන් එළියට එද්දී උප්පැන්නය ලියවුණේ මව ටිල්වින් සිල්වා හැටියටය‍.


පසුගිය මහ මැතිවරණයට උපුල් තරග කළේ ජයග්‍රහණය අතේ තබා ගෙනය. එහෙත් උපුල් මාතර ආසනයට පමණක් කොටු කර ඔහුගේ දේශපාලනය ලත් තැනම ලොප් කිරීමට ඒ වන විටත් පිඹුරු පත් සකසා ඇති බව මේ ජනාධිපති නීතීඥයා දැන නොසිටියේය.

මාතර දිස්ත්‍රික්කයේ ඉතා කුඩාම සහ අඩුම ඡන්ද ප්‍රමාණය සහිත මාතර ආසනයෙන් පමණක් දිස්ත්‍රික් ඡන්දයක් ජයග්‍රහණය කිරීම උගහට බව මාතර දේශපාලනය දන්නා අප හොදින්ම දන්නේය. දෙනියාය, හක්මණ, දෙවිනුවර හෝ වැලිගම වැනි ආසන වලින් තරග කරන අයට ඒ තත්වය එතරම් ගැටලුවක් නැත්තේය. ඒ නිසා මාතර ආසනය නියෝජනය කරන අය තමන්ගේ වෙනත් සබදතාවක් හෝ සාධකයක් යොදාගෙන සෙසු ආසන වලට රිංගන ආකාරය අප ඕනෑතරම් දැක ඇත්තේය.

ඊට හොදම උදාහරණය මංගලය. මුළු ලෝකයටම සංහිදියාව ගැන කියූ මංගල සමරවීර ඡන්ද කාලයට සිය දුරාවේ කම විකුණන බව අප දැක ඇත්තෙමු.

උපුල්ටද විකිණිය හැකි දේ තිබුණේය. එකක් වන්නේ ඔහුගේ ‘රාහුල’ කමය. සාමාන්‍ය පෙළ දක්වා මාතර රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහුට තුනෙන් ගුණ කළ හොද මිත්‍ර සමාගමක් මාතර තිබුණේය. තුනෙන් ගුණ කළ යැයි කීවේ, උපුල්ට සේම ඔහුගේ සහෝදරයන් දෙදෙනාගේ මිත්‍ර සමාගම්ද එවර පෙනී සිටියේ උපුල් දිනවීමට වූ නිසාය.

අනෙක් කරුණ වූයේ උපුල්ගේ බිරිද දෙනියායේ වීම නිසා වැදගත් සහ බලවත් ඥාති සනුහරයක් එකී ආසනයෙන් උපුල්ට ඇතිවී තිබීමය.

ජනප්‍රිය පුවත්  බෞද්ධයන් අඩු වේ! මුස්ලිම් වැඩි වේ! නව ජන සංගණන වාර්තාව කියා පාන කථාව

එපමණක් නොව, ජයග්‍රහණය ගැන සැකයක් නැති, දිනුමෙන් පසු නිසැක කැබිනට් ඇමතිවරයෙක් වන මිනිසෙකු වෙනුවෙන් ජනතාව පෙළගැසීම අරුමයක්ද නොවූයේය. ඒ නිසාවෙන් මාතර සෙසු ආසන වලද උපුල් වෙනුවෙන් රැස්වීම්, ජනහමු, සාකච්ඡා පවත්වන්නට මිනිසුන් පොරකෑහ.

ඔහු දිනක් දෙනියායේ රැස්වීමකට ගියේය…

“වහාම දෙනියායෙන් පිටවෙන්න… වාහන හතර පහ දාගෙන රැස්වීම් වලට යන්න එපා. ඔයා මාතර ආසනයනේට විතරයි දාලා තියෙන්නෙ… වෙන කිසි තැනක රැස්වීම් තියන්න එපා.”

උපුල්ගේ දුරකථනයට ආ ඇමතුම එසේ විය.

මහ මැතිවරණයක අපේක්ෂකයෙකුට එසේ නියෝග දිය හැකි කෙනා කවුරුන් විය හැකිදැයි සෙස්සන් තේරුම් ගත්තේ උපුල් ඊට කීකරු වූ නිසාය.

ඉන්පසු තවත් දිනයක උපුල් වෙනුවෙන් දික්වැල්ලේ රැස්වීමක් පැවැත්වුණේය. එතැන සිටියදී තවත් අයෙක් උපුල් ඇමතීය….

“ඔයා දිස්ත්‍රික්කෙ හැම තැනම රැස්වීම් තිය තිය යන්න එපා… වහාම ඔය රැස්වීම නවත්වලා මාතරට යන්න…”

ඒ කතා කළේ කවුදැයි කියාද අපි නොදනිමු…. එහෙත් ඒ නියෝගය ලද සැනින් කටයුතු ඒ නියෝගය ආකාරයෙන්ම සිදුවූ බැවින් ඔහුද ජවිපෙ ලොක්කෙකු බව උපකල්පනය කළ හැකිය.

“උපුල් කුමරප්පෙරුමට පක්ෂෙ ලොකුම තැන් වලින් කැපිල්ලක් තියනවා… එයාට දිනන්න අමාරුයි වගේ…. දින්නත් ඇමති කමක් ලැබෙන්නෙ නෑ….. “

සිදුවීම් කීපයකට පසු මාලිමාව වටා එක්වෙමින් සිටි මාතර මිනිසුන්ගේ මුවින් මුව කියැවුණේ ඒ කතාවය.
ඡන්දය අවසන් විය. උපුල් පරාදය… උපුල් පරාද වන බව අපි දැන සිටියේ ඡන්ද විමසීම පැවැත්වීමටත් දින ගණනාවකට කළින් බව මෙහිලා කිව යුතුය.

1994 දී ජවිපෙට කෙළින් එන්න බැරි නිසා, ප්‍රගතශීලී පෙරමුණේ ‘මල් බදුන’ ලකුණින් තරග කර හම්බන්තොටින් එක් තරුණ මන්ත්‍රීවරයෙක් ජය ගත්තේය. ඔහු ජනිත් විපුලගුණය. ඒත් එදා මේ ටිල්ටින් සිල්වාම කළේ, ජනිත් ගෙදර තබා, පරාජිත නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට ගත්තේය.


“ජනිත්ව පාර්ලිමේන්තු යැව්වා නම් කොතරම් ආකරශනීයද ?”

යන මැයෙන් මා එවකටද රෝහණ කුමාරගේ ‘සටන’ පුවත්පතේ ලිපියකින් විමසුවෙමි.

උපුල් කුමරප්පෙරුම විෂයෙහි අද මා අසන්නේද ඒ පැනයම ය.

“උපුල් කුමාරප්පෙරුම පාර්ලිමේන්තු යැව්වා නම් කොතරම් ආකර්ෂණීයද ?”

ඉන්පසු අනුරට හෝ ටිල්වින්ට අවශ්‍ය වූයේ නම් උපුල්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නට තිබුණේය. එසේ කළේ නැත…. ඊට හේතු ගණනාවක් ඇත්තේය.

ඒත් ඉන් ප්‍රබලම හේතුව මම කිව යුතුමය. එය කිව යුත්තේ ඒ හේතුව මේ රටේ ජවිපෙ හෝ මාලිමාවේ බොරුවට රැවටුණු සියලු දෙනා දැනගත යුතු නිසාය…

ජනප්‍රිය පුවත්  ටිං ටිං ගේ කතා වස්තුව - දෙවන කොටස

“උපුල් කුමරප්පෙරුම ජවිපෙට නොදිරවීමට බලපෑ ලොකුම හේතුව, උපුල්, අනුර කුමාරට මෙන්ම තවත් බොහෝ දෙනෙකුටම කතා කරන්නේ ‘මචං’ කියා වන නිසාය.”

දකින දකින හැම එකාටම ‘සහෝදරයා’ යැයි ආමන්ත්‍රණය කරන පක්ෂයක නායකයින්ට, යම් අයෙක් ‘මචං’ යැයි අමතීම නුරුස්සන්නේ ඇයි දැයි දැන් ඔබ සැමට ප්‍රශ්ණයක් ඉතිරිව ඇතුවාට සැක නැත…

එසේ සැකයක් ඇති අයට උපුල් කුමරප්පෙරුම අමතා හෝ, රාහුල ආදිශිෂ්‍ය සංගමය අමතා ඊට පිළිතුරු ලබාගත හැකි බවද සදහන් කරමි.

ඒ කතාව කියද්දී පරණ දේශපාලන කතාවක්ද මට මතක් වුණේය….

මහර මැතිවරණ සමයේ ජේ.ආර්.ජයවර්ධන සමග ගේම ඉල්ලූ විජය කුමාරතුංගට ඔහුගේ මිතුරන් අවවාද කළේ දේශපාලනයෙන් ඈත්ව සිටින ලෙසටය. මිතුරෙකුගේ නිවසේ පැවති භෝජන සංග්‍රහයක් අතරතුරදී ද මේ සංවාදය පැමිණි අවස්ථාවක, විජය සිය මිත්‍රයන්ගෙන් මෙසේ විචාලේය….

“උඔලා කැමති නැද්ද කවදා හරි මේ රටේ ජනාධිපතිට මචං කියන්න….?”

එදා ඒ ප්‍රශ්ණය ඇසූ..,

‘විජයගේ ඔලුව කුඩුවෙන්න වෙඩි තබා මරා දැමුවේද අනුර කුමාරලාගේ ජනතා විමුක්ති පෙරමුණේ ‘බුලට්’ එකෙන්ය.’

අද…

‘අනුරට මචං කියන, උපුල් කුමරප්පෙරුමට ජනතා විමුක්ති පෙරමුණ ෂොට් එක දුන්නේ ‘බැලට්’ එකෙන්ය.’
උපුල්ලාට නිසි තැන නොදීමේ ආදීනව මාලිමා ආණ්ඩුව දැන් හොඳටම අත්විඳින බව නොකිවමනා ය. උපුල්ලා වැන්නන් ඇතුළේ සිටියා නම් අනුර හෝ මාලිමාව මේ තරම් කුජීත නොවනු ඇති බව මගේ පෞද්ගලික තක්සේරුව ය.

ඇත්තම කතාව… අනුර කුමාර දිසානායකට වඩා උපුල් කුමාරප්පෙරුම ප්‍රායෝගික දේශපාලන භාවිතාවෙන් ගව් ගණනක් ඉදිරියෙන් ය. අනාගතයේ ඇපත් නැතිවන ජවිපෙ වෙනුවට වමේ පොදු අපේක්ෂකයෙක් සොයා ගැනීමට අනිවාර්යයෙන්ම සිදු වන්නේය. එවැනි අවස්ථාවක අපේක්ෂකයෙක් සොයා ගැනීම ගැටලුවක් වේනම් ඊට කදිම තෝරා ගැනීම උපුල් කුමාරප්පෙරුම ය.

අවසාන වශයෙන් කිව යුත්තේ, සිනහ සිසී… උපුල් කුමරප්පෙරුමගේ දේශපාලන ජීවිතය ඝාතනය කළ ජවිපෙ හෝ මාලිමාවේ අයියලා, අද උපුල්ගේ ආදරණීය පුතණුවන්ගේ මරණය වෙනුවෙන් කදුළු සැලීම කොතරම් හාස්‍ය ජනකද ?මොන විගඩමක් ද ?

Upul Galappaththi Facebook Page –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x