ඉරාන නැව් ගිල්වීම ‘‘විනෝද ජනක‘‘ බව ට්‍රම්ප් සිනා සෙමින් කියයි!
1 min read
පසුගිය මාසයේ 28 වැනිදා මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දා සිට ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ ඉලක්ක 5,000කට ප්‍රහාර එල්ල කර ඇති බවත්, එහි ප්‍රතිපලයක් ලෙස ඉරානයේ මිසයිල හැකියාව 10% දක්වා පහත වැටී ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ෆ්ලොරිඩාවේ පැවැති රිපබ්ලිකන් සාමාජිකයන්ගේ ගැටලු පිළිබඳ සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දින තුනහමාරක් ඇතුළත ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ ඉහළම පෙළේ නාවික නෞකා 46ක් ගිල්වා දැමූ බවයි.
එමෙන්ම ඇමරිකානු හමුදා නිලධාරියකු සමග පැවැත්වූ සංවාදයක් සිහිපත් කළ ට්‍රම්ප්, එම නැව් අත්පත් කර නොගෙන ගිල්වා දැමුවේ ඇයිදැයි තමන් ඔහුගෙන් විමසූ බවද ප්‍රකාශ කළේය.
“ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල හැකියාව සම්පූර්ණයෙන්ම විනාශ කරමින් පවතිනවා. ඔවුන්ගේ නාවික හමුදාව දැන් අවසන්. ඒ සියල්ල සාගර පතුලේ තැන්පත් වෙලා. නැව් 46 ක්, ඔබට එය විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්තටම මට අපේ අය ගැන ටිකක් කේන්ති ගියා. මම ඇහුවා ‘ඒවා මොන වගේ තත්ත්වයේ නැව්ද?’ කියලා. ඔවුන් කිව්වා ‘විශිෂ්ටයි සර්, ඉහළම පෙළේ ඒවා’ කියලා. එතකොට මම ඇහුවා ‘ඇයි අපි ඒ නැව් අත්පත් කරගත්තේ නැත්තේ? අපිට ඒවා පාවිච්චි කරන්න තිබුණානේ. ඇයි අපි ඒවා ගිල්වා දැමුවේ?’ කියලා,” ට්‍රම්ප් එහිදී පැවැසුවේය.
“ඔහු කිව්වා, ‘ඒවා ගිල්වා දැමීම වඩාත් විනෝදජනකයි’ කියලා,” ඇමරිකානු ජනාධිපතිවරයා රිපබ්ලිකන් මන්ත්‍රිවරුන් හමුවේ පවසද්දී එහි සිටි පිරිස සිනහවකින් ප්‍රතිචාර දක්වා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
“ඔවුන් වඩාත් කැමැති ඒවා ගිල්වා දැමීමටයි. ඔවුන් පවසන්නේ ගිල්වා දැමීම වඩාත් ආරක්ෂිත බවයි. මම හිතන්නේ සමහරවිට එය ඇත්ත වෙන්න ඇති,” ට්‍රම්ප් වැඩිදුරටත් පැවැසීය.
ට්‍රම්ප්ගේ මෙම “විනෝදජනකයි” යන ප්‍රකාශය රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර සිනහවට හේතු වුවද, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ඩිමොක්‍රටික් පාර්ශ්වය එය විවේචනය කරන්නේ යුද්ධයක බරපතළකම මෙවැනි ප්‍රකාශවලින් සැහැල්ලු කරන බව පවසමිනි.
කෙසේවෙතත් නෞකා අත්පත් කර ගැනීමට යාමේදී සිදුවිය හැකි ජීවිත හානි සහ තාක්ෂණික අවදානම සලකා බලා ඒවා ගිල්වා දැමීම වඩාත් ප්‍රායෝගික බව හමුදා නිලධාරීන්ගේ මතය වී ඇත.
ඉරාන විදේශ අමාත්‍යාංශය ට්‍රම්ප්ගේ ප්‍රකාශ මනඃකල්පිත සහ අසත්‍ය ලෙස හඳුන්වා දී තිබේ.
සිය රටේ නාවික ශක්තිය තවමත් පවතින බවත්, ඇමරිකානු ප්‍රහාර හමුවේ නොසැලී සිටින බවත් ඔවුන් පවසයි.
ට්‍රම්ප්ගේ මෙවැනි ප්‍රකාශ ඉරාන ජනතාවගේ සහ හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ දැමීමේ උත්සහයක් බව ද ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ට්‍රම්ප්ගේ ප්‍රකාශයට අනුව ඉරානයේ මිසයිල ගබඩා රැසක් ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ඇතත්, ඉරානය තවමත් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ඉරාන නාවික හමුදාවේ ප්‍රධාන නෞකා රැසක් පර්සියානු ගල්ෆ් කලාපයේදී විනාශ වී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් ද තහවුරු වී ඇත.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඇමරිකාව තුළ දැඩි කතාබහට ලක්ව ඇති අතර, ඩිමොක්‍රටික් පාර්ශ්වය පවසන්නේ යුද්ධය තවදුරටත් දික්ගැස්සීම ලෝක ආර්ථිකයට අහිතකර බවයි.
