රුපියල දරුණු කඩාවැටීමක ! වසර අග වන විට ඩොලරයේ විකුණුම් මිල රු. 350 පන්නයි !
1 min read
මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රුපියල ඩොලරයට සාපේක්ෂව 7% සිට 8.5% දක්වා ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ. මෙම අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය, විදේශ සංචිත අවම වූ හා කොවිඩ් වසංගතය හේතුකොටගෙන ආර්ථිකය අඩාළ වූ 2021 වසරේ වූ අවප්‍රමාණයවීමටත් වඩා වැඩි අගයක් හිමිකරගෙන තිබීම විශේෂයකි. 2021 දී ඉහත කී තත්ත්වයන් තුළ පවා රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූයේ 7.0% ක අගයකින් පමණි.
මූල්‍ය විශ්ලේෂණ ආයතන සහ ජාත්‍යන්තර පුරෝකථනයන්ට අනුව, 2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් 3% සිට 5% දක්වා අවප්‍රමාණය විය හැකිව තිබේ. එමගින් කියැවෙන්නේ, 2026 ජූලි වන විටත් රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 7% සිට 8.5% දක්වා අවප්‍රමාණය වී තිබෙන තත්ත්වයක් තුළ වසර අවසානය දක්වා සමස්ත වාර්ෂික අවප්‍රමාණයවීමේ ප්‍රතිශතය 10% සිට 13% දක්වා මට්ටමට ළඟාවිය හැකි බවය.
ඒ අනුව, මෙම වසර අවසානය වන විට, ඩොලරයේ විකුණුම් මිල පිළිවෙලින් රුපියල් 350.54 – 350.86 සහ රුපියල් 357.35 – 358.24 දක්වා ඉහළ යා හැකිය. Traders Union සහ Coincodex යන ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතන රුපියලට අදාළව මෙම පුරෝකථනය මේ වන විට ඉදිරිපත් කර තිබේ.
ඉදිරි මාසවල දී විදේශීය ණය වාරික ගෙවීම නැවත ආරම්භකිරීමට සිදුවීම නිසා විදේශ විනිමය භාවිතයට එල්ලවන බලපෑම, ආනයන වියදම විශාල ලෙස ඉහළ යාම, මැද පෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හා ගෝලීය වශයෙන් ඇමරිකානු ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබීම යන කරුණුවල බලපෑම මත මෙම තත්වය ඇතිවනු ඇතැයි එකී ආයතන පෙන්වා දී තිබේ.
මේ හේතුකොටගෙන ආනයනික උද්ධමනය තවදුරටත් ඉහල යනු ඇති අතර, භාණ්ඩ හා සේවා මිල විශාල ලෙස ඉහළ යනු ඇත.
- ජයදේව කුමාරණතුංග

