July 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන නැමැති සර්පයා

1 min read

ජ.වි.පෙ. ඉන්නේ ශෝකයෙන් ය. ඒ, අනුර කුමාර ජනාධිපතිවූයේ 42.3% ක සියයට 50 ට අඩු ඡන්දයකින් වීම නිසා නොවේ. කීයෙන් දින්නත් ඔහු ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ය. ඊළඟට මහ මැතිවරණයෙන් ලැබුණේ 2/3 ය. පසුව පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ද පළාත් පාලන ආයතන අති බහුතරයකම බලය පිහිටුවාගත්තේ ජ.වි.පෙ. ය. ජ.වි.පෙ. ට ඒ ගැන ශෝක වන්නට කාරණා නොවේය.

එසේනම්, ජ.වි.පෙ. ට ඇත්තේ කුමන ශෝකයක් ද ? එයට ඇත්තේ ලද ආණ්ඩු බලය රාජ්‍ය බලය දක්වා කඩිනමින් පරිවර්තනය කර ගැනීමට දරණ උත්සාහය හිතන තරම් වේගයෙන් සිදු නොවීම පිළිබඳ ශෝකයක් ය. මේ ශෝකය නම්, රාජ්‍ය පාලනයේ දී වැළඳිය හැකි අතිශය බරපතළම හා විනාශකාරීම ශෝකය වේ.

ජූලි 27 න් ඇරඹෙන සතිය තුළ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට, දේවගැති, අගවිනිසුරු සූරසේනගේ විශ්‍රාම යන වයස දෙවසරකින් දිගුකරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ගෙනඒමට නියමිතය. ගෙන ආ විගස සියළු අමාත්‍ය මණ්ඩල සාමාජික “පාපිස්සන්” එය එක හෙළා අනුමත කරනු නිසැකය. මෙය ද රාජ්‍ය බලය තමන් සතු කරගැනීමේ අධික පිපාසාව සන්සිඳුවා ගැනීම සඳහා ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනයක් ය.

බයිබලයට අනුව, ඒදන් උයනේ දී දෙවියන්වහන්සේ එක් ගසක ඵල හැර අන් සියල්ල කෑමට අවසර දුන් නමුත්, සර්පයා ඒවට පෙළැඹවූයේ “දෙවියන් වැනි වීමට” එම ඵල කෑ යුතු බවය. දේවගැති සූරසේන නැමැති සර්පයා ඒව නම් වූ අනුර කුමාරට මේ කියන්නේ ද “ඔබේ බලය අසීමාන්තිකවීමට නම්, මා තව වසර 2 ක් ඔබ තබාගත යුතුම” ය කියාය. තහනම් ඵළ කෑ ඒවට වූ දේ නොදන්නා අනුර කුමාර ජනාධිපතිවරයා, දැන් යමින් සිටින්නේ බල තන්හාවේ අවසානය කරා ය.

නීතියේ ආධිපත්‍යය වෙනුවට පුද්ගල අභිමතය ආදේශවීම තරම් භයානක හා විනාශකාරී දෙයක් රටකට තවත් නැත. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මතුපිටින් කවර වෙස් ගත්ත ද ඇතුළතින් සපුරාගන්නට හදන අවශ්‍යතාව නම් එයම ය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එකම පරමාර්ථය දේවගැති අගවිනිසුරු විශ්‍රාමයාමට නොදී ඔහුගේ වයස අවුරුදු 67 දක්වා තබාගැනීම පමණි. නඩු ප්‍රමාද වීම වැනි හේතු කාරණා ඉදිරියට දමමින් මේ අමු හෙළුවෙන් තිබෙන ඇත්තට සළු පැළඳවිය නොහැක. සූරසේනගේ ආධිපත්‍යය යනු නීතියේ ආධිපත්‍යයැයි ජනාධිපති අනුර කුමාර සිතන බව ඒ අනුව පැහැදිලිය. අනුර කුමාරලාට මෙහෙම හිතෙන්නේ ඔවුන්ගේ කරුමෙට ලද පාර්ලිමේන්තුවේ 2/3 බලය නිසාය.

මෙම 2/3 බලය ආණ්ඩුවකට ලැබී තිබෙන හැමවිටම එය උපයෝගී වී ඇත්තේ ස්වයං විනාශය කැඳවාගෙන ඒමට ය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවට 1970 පැවති මහමැතිවරණයෙන් පසුව, ආසන 116 ක් (එනම් 2/3 ක බලයක්) හිමි කරගත්තා ය. ඒ බලය යොදාගනිමින් 1972 දී “ශ්‍රී ලංකා ජනරජය” නිර්මාණය කළ ජනරජ ව්‍යවස්ථාව ගෙන ආවේ සිරමාවෝ බණ්ඩාරනායක ය. නමුත් පසුව පැමිණි 1977 මහමැතිවරණයෙන් මැතිණි ඇද වැටුණේ ආසන 8 කටය. 116 අටට වැටෙන්නට ගියේ කෙටි කලක් ය.

ජනප්‍රිය පුවත්  ක්‍රම විරෝධීන්ගේ ගමනක අවසානය !

ජේ.ආර් ජයවර්ධන 1977 මහ මැතිවරණයෙන් ආසන 168 න් 140 ම ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවේ හිමිකරගත්තේ හයෙන් පහක බලයක් ය. ඒ අධි බලය යොදවා විධායක ජනාධිපති ක්‍රමය බිහි කළේ ජේ.ආර්. ය. 83 කළු ජූලිය ඇති කළේ ද ඒ ජේ.ආර්. ගේ ආණ්ඩුව ය. ජ.වි.පෙ. තහනම් කළේ ද අධි බලයෙන් ඔලුව උදුමවාගත් ඒ ජේ.ආර්. ගේ ආණ්ඩුව ය. ජ.වි.පෙ. විනාශ කළේ ද ඒ යූ.ඇන්.පී. ආණ්ඩුවම ය. පසුව, චන්ද්‍රිකා ජයගත් 94 න් පසු, තාම හරියට තමන්ගේම ආණ්ඩුවක් හදාගන්න බැරුව දුක් විදින්නේ ද ඒ කොලපාට බලවේගයම ය. අධික බලය විසින් උරුම කරදුන් අධික වේදනාව එවැනි ය.

මහින්ද රාජපක්ෂට 2/3 බලය හදාගන්නට හැකි වූයේ 2010 පැවති මහමැතිවරණයෙන් පසුව ය. ඡන්දයෙන් ආසන 144 ක් හිමිකරගත් මහින්ද ඉතුරු ටික එකතු කරගෙන 2/3 බලය හදාගත්තේ ආශාවෙන් ය. එහි ප්‍රතිඵලය වූයේ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය. එවකට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක සමඟ ගැටෙන්නට ද සිදුවූයේ 18 ගෙන ඒමට ඇය බාධාවක් වන බව පෙනුන නිසාය. 18 සම්මතකරගත්තත්, අන්තිමට ඒ 2/3 බලය කෙළවර වුයේ තමන්ගේම මිනිහෙක් සමග තරග කර 2015 දී මහින්දට මැදමුලනට පලායාම උරුම කර දෙමින් ය.

ගෝඨාභය රාජපක්ෂට ද මේ භයානක 2/3 ක ලැබුනේ ය. බැසිල් මල්ලීට පාර කපා දෙන්නට 20 වැනි සංශෝධනය ගෙන එන්නට හිතුනේ ඒ හින්දා ය. 2/3 තිබුණේ නැත්නම් ඒවා හිතෙන්නේ නැත. බැසිල් මල්ලී මුදල් ඇමති කරවාගත් ගෝඨාභය ගමන කෙළවර කෙරුණේ බංකොලොත් වූ රටක ධූරය අතහැර පලාගිය ජනාධිපතිවරයා ලෙසින් ය.

දැන් වාරය පැමිණ ඇත්තේ අනුර කුමාරට ය. ඔහුට ද ඇත්තේ පාර්ලිමේන්තුවේ 2/3 ක බලයම ය. ඒ නිසා ඔහු දැන් හදන්නේ “තහනම් ගහේ ඵළ” කෑමට ය.

ජනාධිපති අනුර, සූරසේන තවදුර තබාගැනුම වෙනුවෙන් මේ ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනය, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වරක් ගෙනැවිත් තිබෙන සියළු ව්‍යවස්ථා සංශෝධනයන්ට වඩා හිරි ඔතප් බිඳෙන සුළුය.

ජනප්‍රිය පුවත්  කොම්රේඩ් අනුර.. සදා සැනසීම ඔබමය..!!

මෙම සංශෝධනයෙන් කරනුයේ, සූරසේන තබාගැනීම වෙනුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දික් කිරීම ය. මේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු එයට එරෙහිව රටවැසියා තම පැමිණිල්ල රැගෙන යා යුත්තේ ද අදාළ ප්‍රතිලාභය ලබාගන්නා සූරසේනගේ අධිකරණය වෙතය. එදාට සූරසේනලාට සිදුවන්නේ “තමන්ගේ නඩුව” තමන් විසින්ම විභාග කරන්නට ය.

බෞද්ධ භික්‍ෂු සමාජයේ විනය කටයුතුවල දී, තමා බැඳුණු ආරෝපණයක් හෝ ආරවුලක් විභාග කිරීමට අදාළ භික්‍ෂුව සහභාගිවීම බුදුරජාණන්වහන්සේ විසින් තහනම් කර තිබිණි. යම් භික්ෂුවකට චෝදනාවක් එල්ල වූ විට එය විභාග කළ යුත්තේ සංඝ සභාව විසින් මිස, තමා තමාගේම නඩුවේ විනිසුරුවරයා වීමෙන් නොවේ යැයි බුදුන්වහන්සේ අවධාරණය කළ සේක. මෙය “නේමෝ ජුඩෙක්ස් ඉන් කවුසාසුවා” ලතින් නීති ප්‍රතිපත්තියට සමාන ඓතිහාසික පිළිගැනීමකි.

“පහන යට අඳුරුයි” කියන්නේ මේ හින්දා ය. පහනකින් අවට ආලෝකමත් කලාට එහි යට කොටස ඇත්තේ අඳුරේ ය. තමාගෙම වරද, තමාගේ අඩුපාඩුව තමන්ට පෙනෙන්නේ නැත. “තමාගේ නඩුවට තමන්ම විනිසුරු වුවොත් ලේ කිරට පෙරළේ” යැයි පැරණි ගැමියන් කිවුවේ මේ හින්දා ය.

එක්තරා ගමක විසූ මහල්ලෙකුට තම මිදුලේ තිබූ පොල් ගසක් සම්බන්ධයෙන් ධනවත් ගමරාළ සමග නඩුවක් ඇති විය. ඒ ගමරාළ ගමේ නඩු විභාග කරන වැඩිහිටියා ද වූවාය. ඔහු තමාගේම නඩුව විභාගකර, පොල්ගස තමාටම අයිතිබවට තීන්දු කළේය.

මාස කිහිපයකට පසු එම ගමට පැමිණි සංචාරක බෞද්ධ භික්ෂුවක් ගමරාළගෙ නිවස ඉදිරිපිට ඉඳගෙන “අපරාධකාරයා විත්ති දොඩවයි, විනිසුරුවා කොර වෙයි” යන කවිය ගායනා කළේය. ගමරාළ එහි අරුත විමසූ විට භික්ෂුව එය මෙසේ පැහැදිලි කළේය.

“තමාගේ වරද වසන් කරගැනීමට අපරාධකරුවන් බොරු කියන අතර, තමන්ගේම නඩුව විභාග කරන විනිසුරුවා යුක්තිය දෙසට ඇවිද යන්නේ කොර ගසමින්, එනම් අසාධාරණ ලෙසය.”

කතාවට අනුව, මෙයින් පසුතැවිලි වූ ගමරාළ පසුදිනම නඩුව නැවත විභාග කර, පොල් ගස මහල්ලාට පවරා දී සමාව ගෙන තිබේ. එහෙත්, අනුර කුමාරලා සූරසේනලා ද කර තබාගෙන මේ යන්නේ ඒ ගමරාළට ඇති හැදියාවත් ඇතිව නොවේය.

ආචාර්ය බොන්හැම් නඩුවට අදාලව 1610 දී එංගලන්තයේ අගවිනිසුරු ශ්‍රීමත් එඩ්වඩ් කෝක් ප්‍රකාශ කළේ, “කිසිවෙක් තමාගේම නඩුවේ විනිසුරුවරයෙක් විය නොහැක. මන්ද ඔහුට පක්ෂග්‍රාහී අවශ්‍යතා පවතින නිසා යුක්තිය ඉෂ්ඨ කළ නොහැකි බැවිනි” යනුවෙන් ය. ඇමරිකා එක්සත් ජනපදයේ කැපර්ටන් එදිරිව මැසිකෝල් නඩුවේ (2009) දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, “අතිවිශාල ප්‍රචාරක පරිත්‍යාගයක් නිසා ඇතිවන ප්‍රක්ෂග්‍රාහිත්වයේ සැබෑ අවදානමක් පවතින විට, විනිසුරුවරයකු නඩුවෙන් ඉවත් විය යුතුය. එසේ නොවීම තම නඩුවේ විනිසුරුවීමේ මූලධර්මය උල්ලංඝනය කිරීමක්” යනුවෙන් ය.

ජනප්‍රිය පුවත්  රුපියල සහ ඉරණම

ජාත්‍යන්තර අධිකරණවල (ICI) සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වැනි ආයතනවල “තම රට සම්බන්ධ නඩුවක් විභාග කිරීමෙන් විනිසුරුවන් ඉවත්වීමේ (Recusal) දැඩි නීතියක් ඇත්තේ නිකමට නොවේ. ඒ, තමාගේ නඩුවේ විනිසුරු නොවීමේ” වටිනා සිද්ධාන්තය රැක ගැනුම වෙනුවෙන් ය.

දැන්, තමාගේම විශ්‍රාම වයස දිගුකරදීමේ “ත්‍යාගය” සහිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ විට, තමන් ලද ත්‍යාගය හරි ද වැරදි ද කියා නිගමනය කරනුයේ ත්‍යාගයේ හිමිකරුවන්ම ය. තමාගේ නඩුවේ විනිසුරු තමා බවට පත්වන්නට සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට ය. මෙය සිදුවන විට, මෙරට අධිකරණය ඇද වැටෙන්නේ කුමන තත්ත්වයකට ද?

ශ්‍රීක පුරාවෘත්තයකට අනුව, ඉකාරස්ට හා ඔහුගේ පියාට පියාපත් සාදා පැනයාමට සිදු වූ අතර, පියා අවවාද කළේ හිරුට ඕනෑවට වඩා ලං නොවන ලෙසය. නමුත් පියාසර කිරීමේ බලයෙන් හිස උදුමාගත් ඉකාරස් උඩටම පියාඹා ගොස් හිරු රශ්මියෙන් ඉටි පියාපත් දිය වී මුහුදට ඇදගෙන වැටුණේ ය. අනුර කුමරුගේ නළලේ කොටා ඇත්තේ ද ඉකාරස්ගේ ඉරණම ය.

“වැඩියෙන් අල්ලාගන්නට යන තැනැත්තා අතේ තියෙන්නේ ටිකක් පමණයි” යනුවෙන් කියන්නේ පැරණි රෝම නීති උපමාවක ය. මේ යන විදියට ගියොත් පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිනවන්නට කතිරය ගැසූ ජනතාවට වෙන්නේ ඊසොජගේ උපමා කතාවක එන පොකුණක විසූ ගෙම්බන්ට වූ දේ ය.

පොකුණක විසූ ගෙම්බන්ට රජෙකු උවමනා විය. ඔවුහු රජෙකු ඉල්ලා සියුස් දෙවියන්ට කන්නලව් කළහ. සියුස් ඔවුන්ට ලී කොටයක් රජු ලෙස එවීය. එයින් තෘප්තිමත් නොවූ ගෙම්බන් තවත් බලසම්පන්න රජෙක් ඉල්ලා සිටියහ. සියුස් කළේ ජල සර්පයෙක් එවීම ය. එම සර්ප රජු කළේ විලේ සිටි ගෙම්බන්ව එකින් එක ගිල දැමීම ය.

සියුස් අපට එවා ඇති “සර්ප රජු” අනුර කුමාර බව ප්‍රත්‍යක්‍ෂ වනු ඇත්තේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන අඩව්ව අල්ලා අවසන් වූ විටය.

අප කැට තබා කියන්නේ, අඩව්, කස්තිරම් මොනවා කළත් නැටුම කෙළවර වන්නේ “බෙරේ පලුවකුත්” නැති කරගෙන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x