අනුර “බෝර්න් අගේන්” වීම ?
1 min read
තමන් දිවැසිවරයකුයැයි කියාගන්නා “බෝර්න් අගේන්” ආගමික නිකායේ ජෙරොම් ප්‍රනාන්දු පසුගිය දා ජනාධිපති අනුර කුමාර ගැන ප්‍රශංසා කළේය. ජනාධිපති අනුර කුමාර නොමැත්තේනම්, අද රට තියෙන්නේ මීට වඩා නරක තැනකයැයි ජෙරොම් කීවේ ජෙරොම්ලා සහ අනුරලා ඉන්නේ “එක ගෙයි කමින්” බව මනාවට පෙන්වා දෙමින්ය. තවදුරටත් ඔහු කීවේ ජනාධිපති අනුර හොඳින් “බැට්” කරන බවය. ඔහුගේ බැට් එකට අකැමැති විය හැකි වුවත්, බැට් කරන අන්දම නිවැරදි බවය. අනුර කෙලින් බැට් කරන බවය. එසේ කියා ඔහු අවසානයේ කීවේ, තමන් කැමති දේශපාලනඥයා වෙනුවෙන් ද යාඥා කළ යුතු බවය.
මීට කලින්, මේ ජෙරොම් මෙරට සිටි කවර ජනාධිපතිවරයකු වෙනුවෙන් හෝ මෙවැනි පිතිකරණයක නිරත වූ බවක් අප අසා නැත. ජෙරොම් ප්‍රනාන්දු ජනාධිපති අනුර ගැන මේ ටික ආවාට ගියාට කියන්නේ නැති බවද අපට පැහැදිලිය. ජෙරොම්ලාට අනුර කුමාර මෙච්චර ගෝචර වුනේ කොහොමද? තේරුම් ගත යුතු වැදගත්ම ප්‍රශ්නය වන්නේ එයය.
අනුර කුමාර මෙන්ම ජෙරොම් ප්‍රනාන්දුලා ද අර්බුදය විසින් නිර්මාණය කරන ලද උත්තරය. මේ දෙදෙනාම ඉන්නේ දෙවිදියක අනන්‍යතා අර්බුදයක ය.
ජෙරොම් සම්මත කතෝලික හෝ ක්‍රිස්තියානි පල්ලියේ ඇදහිල්ලට මුලුමනින්ම අයත් නැත. කඩාවැටෙන, අර්බුද ගහන සමාජයක, සාම්ප්‍රදායික සංස්ථා කෙරෙහි වන විශ්වාසය බිඳවැටෙන විට, ඒ ඉඩ අත්පත් කර ගැනීමට නව සංස්ථා කරළියට පැමිණේ. ජෙරොම්ලාගේ බෝර්න් අගේන් (Born Again) වැනි එවැන් ජලිකල් හෝ පෙන්තකොස්ත වැනි ආගමික ව්‍යාපාර බිහිවන්නේ ඒ සඳහා ය.
දැඩි ආර්ථික හෝ පෞද්ගලික අර්බුද හමුවේ මිනිසුන් දැඩි මානසික බිඳවැටීම්වලට ලක් වේ. අප මේ ඉන්නේ එවැනි බිඳවැටීම් ඕනෑවටත් වඩා වැඩියෙන් පවතින කාලයක ය. එවැනි අවස්ථාවල දී ක්ෂණික ආශ්චර්යයන්, සුව කිරීම් සහ දේවපිහිට පිළිබඳව කෙරෙන දේශනා ඇති හැකි අය අතර මෙන්ම නැති බැරි අය අතර ද ආකර්ෂණයට ලක් වේ.
දිළිදු සහ පීඩිත ජනතාවට ආහාර, මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර ලබා දී තම ආගමික ව්‍යාපෘතියට නැඹුරු කර ගැනීමට වැඩි අවස්ථාව උදාවන්නේ අර්බුද ගහන සමාජයක බව ජෙරොම්ලා හොඳටම දන්නේය.
ජෙරොම්ලා මුලින්ම කරන්නේ සමාජය ආකූල වී පවතින විට, ජනප්‍රිය කලාකරුවන්, ක්‍රීඩකයන් හෝ දේශපාලනඥයන් තම නිකාය වැළඳගැනීමට පොළඹවා ගැනීමය. සංගක්කාර, භාණුක රාජපක්ෂ ආදී ක්‍රීඩක උදාහරණ එමට ඇත්තේ ඒ ව්‍යාපෘතියේ ඇති සාර්ථක බව කියාපාමින්ය. දේශපාලනයේ ද එම ආගමික නිකාය වැළඳගෙන, එය එලියට නොපෙන්වා සිටින අය කවුදැයි අප දන්නේය.
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර මූල්‍ය අනුග්‍රහය මේවාට බොහෝ සේ හිමි වේ. සමාජය තුළ ඇති බෙදීම් තවත් තීව්කර, අර්බුද සමයේ නව බෙදීම් ඇති කිරීම මෙවැනි ආගමික ව්‍යාපෘතිවල එක අරමුණක්ය.
මේවා සතුව පවතින්නේ අසීමිත මූල්‍ය ශක්තියකි. ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ඇතැම් යුරෝපා රටවල ක්‍රියාත්මක ප්‍රධාන ජාත්‍යන්තර එවැන්ජලිකල් සංවිධාන මගින් මොවුනට ඍජුවම ආධාර ලැබේ. අනෙක් අතට මෙම ආගමික කණ්ඩායම්වලට ඇතුලත්වන සාමාජිකයන් තමන් උපයන මාසික ආදායමෙන් 10% ක් අනිවාර්යෙන්ම සභාවට පරිත්‍යාග කළ යුත්තේය. එයට කියන්නේ දශමභාග බද්ද (Tithing) කියාය. ඉහල ධනපති සමාජයේ සාමාජිකයන්ගෙන් මේ හරහා ලැබෙනුයේ අති විශාල මුදලක්ය.
අපට එලියට පෙනෙන්නේ ජෙරොම් හෝ එරාන් වික්‍රමරත්නලා වූවාට, මෙහි නොපෙනෙන මුහුණු බොහෝ ඇත.
2022 – 2023 වකවානුවේ දී ඕස්ට්‍රෙිලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම සහ ක්‍රීඩකයන් තේරීමේ පක්ෂපාතිත්වය පිළිබඳව විමර්ශනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත්කරන ලද බව දැන් බොහෝ දෙනෙකුට අමතකය. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එම පංච පුද්ගල කමිටු වාර්තාවෙන් කරුණු කිහිපයක් එළියට ආවේය. ඒවා නම්,
- “බෝර්න් අගේන්” ආගමික නිකායේ බලපෑම හේතුවෙන් තමන්ගේ ක්‍රීඩා අනාගතය අහිමි වේ යැයි බියෙන් ඇතැම් ක්‍රීඩකයන් නිවැරදිව සාක්ෂි දීමට මැලි වූ බව.
- මෙම ආගමික කණ්ඩායම් විසින් කණ්ඩායමේ සිටින සාම්ප්‍රදායික බෞද්ධ ක්‍රීඩකයන්ව ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ මතවාදවලට හරවාගැනීමට උත්සාහ කර ඇති බව හා එක් ප්‍රමුඛ ක්‍රීඩකයකු එයට ගොදුරු වී ඇති බව.
- ක්‍රීඩකයන් තේරීමට බෝර්න් අගේන් කල්ලිය සෘජුවම බලපෑම් කළ බවට “නිශ්චිත සාක්ෂි” නොමැති වූවද, මෙම ව්‍යාපාරය ක්‍රිකට් කණ්ඩායම තුළට රහසිගතව රිංගීම වැළැක්වීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බව.
මේ පංච පුද්ගල කමිටු වාර්තාව කියවීමෙන් තව විස්තර ඕනෑම අයකුට දැනගන්නට හැකිය.
අද නූතන ලෝකය මේවා හඳුන්වාගන්නේ (Cult) ලෙසය. ප්‍රංශය 2001 වර්ෂයේ දී “මානසික සහ ශාරීරික ස්වාධීනත්වය” සූක්‍ෂම ලෙස පාලනය කරන (Mind Control/ Brainwashing) ඕනෑම සංවිධානයක් නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, ඒවායේ නායකයන්ට දැඩි දඬුවම් දීමටත් “Anti-Cult Low” එකක් ඇති කලේ මේ ප්‍රවණතාව මැඩලීමට ය. සිංගප්පූරුව ද සිය රටෙහි ආගමික සමඟිය රැකගැනීම සඳහා ඉතා දැඩි නීති රීති පනවා ඇත. රුසියාව නම්, බෝර්න් අගේන් වැනි ඇතැම් විදේශීය ඉවැන්ජලිකල් සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැනි කණ්ඩායම් “අන්තවාදී සංවිධාන” ලෙස නම් කර රට තුළ ඒවායේ ක්‍රියාකාරිත්වය සපුරා තහනම් කර ඇත.
මේ ආගමික ව්‍යාපාර ඔවුන්ගේ වර්ධනයේ එක් අවස්ථාවක දී දේශපාලන බලය අත්පත් කරගැනීම සහ රාජ්‍ය නායකයන් මෙහෙයවීම ද ඉලක්ක කොටගෙන ක්‍රියාකරනු ලබයි. දැඩි ආර්ථික හා දේශපාලන අර්බුද මැද 2019 දී බලයට පත් වූ ජයිර් බෝල් සොනාරේ ජනාධිපතිවරයා පත්කිරීම පසුපස සිටියේ එරට ප්‍රබල බෝර්න් අගේන්/ පෙන්තකොස්ත ජාලය ය. ඔහු තමන් හඳුන්වාදුන්නේ බෝර්න් අගේන් සාමාජිකයකු වශයෙන් ය. ග්වාතමාලාව සහ හොන්ඩුරාස් වැනි රටවල ද මේ ආගමික නිකාය සිය දේශපාලන බලය හිමිකරගෙන තිබේ. අප්‍රිකාවේ සිම්බාබ්වේ රටද මීට ඇති තවත් නිදසුනක්ය.
චිත්තවේගීය උත්තේජනය (Emotional Manipulation) මෙම ආගමික ව්‍යාපෘතියේ ප්‍රධාන උපක්‍රමයක්ය. ජෙරොම් සංගීතය ද, ආලෝක දහරා ද, ඔහුගේ දේශනාව ද යොදාගෙන කරන්නේ ඒකය.
අනුර කුමාර ද දේශපාලන ඇතුලේ කරන ලද්දේ ද, කරමින් සිටින්නේ ද ඒකය.
ජෙරොම්ලා කියන්නේ තමන්ව සැක නොකරන්න කියාය. සැකකිරීම පාපයක් කියාය. අනුර කුමාර පාර්ලිමේන්තුවට පැමිණ වරෙක අසනු ලැබුවේ “ඔබ කියන්නේ අපේ බිමල් කන්ටේනර් පරීක්ෂා කරන්න නොදීමෙන් හොරකම් කරා කියාද?” යනුවෙන් ය. එයින් කියන්නේ එහෙම සිතීම ද පාපයක් කියාය. ජෙරොම්ලා ද ගොඩනගන්නේ විවෘතව හා රහසිගතව “කල්ට්” එකක් ය. අනුර කුමාරලා ද වැඩ කරන්නේ ඒ අන්දමේම “කල්ට්” එකක් ඇතුළේ ය.
ජෙරොම්ලාට ද අන්ධ භක්තිකයෝ සිටිති. අනුරලාට ද අන්ධ භක්තිකයෝ එමට සිටිති. මේ සියලු භක්තිකයන් මේ දෙදෙනාටම ලැබී ඇත්තේ පවත්නා අර්බුදයේ ප්‍රතිඵල ලෙසය.
අර්බුදය මේ දෙදෙනාගේම පැවැත්මය. මහින්දගේ පැවැත්ම බිඳවැටුණේ යුද ජයග්‍රහණයෙන් පසුවය. මහින්ද අර්බුදය තුරන්කිරීම තම පැවැත්ම සාධනය කරගැනීම ලෙස සිතුවේය. අනුර සිතන්නේ ජෙරොම් මෙන්ම අර්බුදය තබා ගත යුතු බවය. වවා ගත යුතු බවය. අර්බුදය වැවීම හරහා පිළිගත්, සම්මත සංස්කෘතික, ආගමික, සදාචාරාත්මය හා දේශපාලන පද්ධතීන් බිඳවට්ටවා අර්බුදයට සරිලන නව පද්ධතියක් බිහි කර ගත යුතු බවය.
අනුරට බෝර්න් අගේන් සූරසේන අධිකරණයේ මුල් පුටුවට දේවදූතයකු ලෙස පෙනෙන්නේ ඒ හින්දාය. ජෙරොම්ට අනුර මනරම් පිතිකරුවකු ලෙස දැනෙන්නේ ඒ හින්දා ය. බෝර්න් අගේන් ප්‍රමිෂ්කා අනුරගේ හා ජ.වි.පෙ. භක්තිමත් දායිකාවක වන්නේ ඒ අනුව ය.
අනුර ද, ජෙරොම් ද පැවැති සාම්ප්‍රදායික සංස්ථාව විසින් බිහිකල “චරිත” නොවේ. ඒවායේ අර්බුදය විසින් බිහිකල “චරිත” ය. අර්බුදය විසින් බිහිකළ චරිත තරම් අර්බුදයේ රස අන් කිසිවකුත් දන්නේ නැත.
අනුරට ද ජෙරොම්ට ද අර්බුදය ශාර භූමියකි. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ගිය අනුර සහ කොළඹ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයට ගිය ජෙරොම් එකිනෙකාට, තකට තක වන්නේ එපරිද්දෙන්ය. මේවා නොතේරෙන කාට කාටත් දෙවියන් වහන්සේගේ පිහිටම ය !
