දෙවිනුවර අවනඩුව ?
1 min read

“කපුවා කපටි වී දේවාලෙ ගසා කති… නිළමේ නිල බලෙන් අසරණ ජන පෙළෙතී…” යැයි කියුවේ පැරණි ජන කවියක ය.
මේ ජන කවිය අපගේ මතකයට ආවේ, දෙවිනුවර දේවාලයේ පෙරහැර පිළිබඳව මතු වී ඇති පාතාල සංවාදය නිසාය.
එක පාතාල කෙරුමෙක් වන්නේ කංජිපානි ඉම්රාන් හෙවත් KPI ය. KPI එම දුරකථන ඇමතුම මගින් තර්ජනය කරන්නේ දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වත්මන් බස්නායක නිළමේ වූ ආරච්චිගේ තිළිණ මධුශංක අබේරත්නට ය. එම ඇමතුමෙන් KPI තර්ජනාත්මකව පවසන්නේ දෙවිනුවර දේවාලය වාර්ෂිකව සංවිධානය කරන පෙරහැරට, කලින් සහභාගි කරගත් සියළු නර්තන කණ්ඩායම් සහභාගි කරගත යුතු බවය. තෝරලා බේරලා කට්ටියකට නටන්න නොදුන්නොත් බස්නායක නිළමෙ සංවිධානය කරන අවසන් පෙරහැර මෙය බව ද KPI පවසන්නේ ය. ඒ කියන්නේ KPI කියන විදියට වැඩේ නොකළොත් බස්නායක නිලමේව මරා දමන බවය.
KPI ගේ තර්ජනාත්මක දුරකථනයට ප්‍රතිචාරය දෙන්නේ තවත් පාතාල චන්ඩියකු වූ “දෙහිබාලා” ය. ඔහු කියන්නේ, දේවාලයට හෝ පෙරහැරට පුළුවන්නම් අත තියන්න කියාය. එසේ කළහොත් එක “කොට්ඨාසයක” බෝට්ටු, රෙදිකඩ හා ව්‍යාපාර තියාගන්න වෙන්නේ කොළඹ කියාය. ඒ කියන්නේ දෙවිනුවර සිටින මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හොඳ එකෙන් කන්නට වෙන බවය.
සසිරිබර මෙසිරිලක නීතියේ ආධිපත්‍යයට දැන් අත්පත් වී ඇති ඉරණම ගැන හොඳටම තේරෙන්නේ මේ පාතාල කෙරුමන්ගේ හඬපට ඇසූ විටය.
මේ බස්නායක නිළමේ පසුගිය ජනාධිපතිවරණ කාලයේ ජ.වි.පෙ. නායක අනුර කුමාරට මුදලින් සෑහෙන සහයෝගය දැක්වූවේ ය. මේ සමග වන ඡායාරූපය සාක්ෂි දරන්නේ ඒ බවය. එකල ජ.වි.පෙ. නායක මේ ඡායාරූපයට ඔහු සමග පෙනී සිටියේ ඔහුගේ නිවස ඉදිරිපිට දී ය.
කළ උපකාරයට ප්‍රතිඋපකාර ලෙස ජනාධිපති අනුර තිළිණ මධුසංඛ අබේරත්නට බස්නායක නිළමේ තණතුරු එකක් නොව දෙකක්ම ලබා දුන්නේ ය. ඒ දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ ධූරයට අතිරේකව, ඓතිහාසික රුහුණු මහා දේවාලයේ ද බස්නායක නිළමේ ධූරයත් ය. බස්නායක නිළමේවරු පත්කරන්නේ ජනාධිපති නොවුනාට, මේ දෙකම මේ නිළමෙට ලැබුණේ නිතරගයෙන් ය. එයට හේතුව සෙවීමෙන් දැනගත හැක්කේ ආණ්ඩුව, තම බලය යොදවා සෙසු තරගකරුවන් බියවැද්දූ අන්දම ය.
බස්නායක නිළමෙවරයා යනු දේවාලයේ ලෞකික පරිපාලනය, දේපළ, අරමුදල් සහ වාර්ෂික උත්සව සංවිධානය කිරීම භාර ප්‍රධාන ගිහි භාරකරුවා ය. මේ හැම දේවාලයකටම බැතිමතුන්ගේ බොහෝ වටිනා දේ ලැබෙන්නේ භාරහාර ඉටුවීමෙන් ලද සතුට ඔප්පු කිරීමක් ලෙසය. ඒ ඔක්කොම පාලනය වන්නේ බස්නායක නිළමෙට උවමනා පරිදි ය. එකක පමණක් නොව දෙකකම නිළමෙකම එකවර දරන්නට හිතෙන්නේ ඒ හින්දා ය.
ප්‍රශ්නය පැන නැගී ඇත්තේ පෙරහැරට අදාළව ය. පෙරහැරේ නටන්නේ කුමන නැටුම් කණ්ඩායම්දැයි තීරණය කරමින්, කලින් නැටු කණ්ඩායම් කීපයක් ජ.වි.පෙ. “තියරිය” අනුව කපා දැමීමට යාම මේ ප්‍රශ්නයේ මුල ය.
දෙවියන්ගේ ගිහි භාරකරු බස්නායක නිළමේ ය. එහෙත් මේ බස්නායක නිළමේගේ ඇත්ත භාරකරු පැලවත්තේ දෙවියෝ ය. ආණ්ඩුකාරයින් පාද තැබිය යුත්තේ පැලවත්තේ පදයට වගේම, තමන්ගේ පිහිටෙන් බස්නායක නිළමේකම් ගත් අය ද පාද තැබිය යුත්තේ තම අණට අනුව බව සිතන්නේ පැලවත්තේ දෙවියන් ය.
ඒ නිසා දැන් දෙවිනුවර දේවාලයේ නටන කණ්ඩායම ද තෝරන්නේ ජෙප්පෝ ය. ජෙප්පො නර්තන කණ්ඩායම තෝරන්නේ සම්ප්‍රදාය රැකෙන්නේ ද යන්න සොයා බලා නොවේය. පෙරහැරේ ගුණාත්මකභාවය රැකගැනීම ගැන සිතා ද නොවේ ය. ජෙප්පො බලන්නේ නටනවුන්ගේ 76 වසරක ඉතිහාස කතාව ය. ඒ කතාවට අනුව පෙරහැරේ නටන්න තේරෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී “මාලිමා” වට ඡන්දය දී සියළු දේශපාලන පව් සෝදාගත් ශුද්ධවන්තයන්ට අදාළ උදවියට පමණ ය.
මිනිසුන්ගේ අවනඩු විසඳන දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වැඩ සිටින දෙවියන්ටවත් මේ ජෙපි “අවනඩුව” විසඳන්නට බැරිය. අන්තිමට අවනඩුව විසදාදීමේ වගකීම බාරගෙන ඇත්තේ පාතාල නායක මැදපෙරදිග වැඩ සිටින කංජිපානි ඉම්රාන් “දෙවියෝ” ය. එසේ නොවේනම් KPI “දෙවියෝ” ය. ඒ “දෙවියාගේ” මරණ තර්ජන අවනඩුව බාරගෙන ඇත්තේ “දෙහිබාලා” “දෙවියෝ” ය. උප්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වැඩ සිටින විෂ්ණු දෙවියෝ බලා සිටින්නේ මේ කියන පාතාල “දෙවිවරු” අවනඩුව විසඳන විදිය ගැනය.
මෙය මොන විදිහට විසඳුනත්, අවසානයේ සියල්ල විසඳෙනු ඇත්තේ විෂ්ණු දෙවියන්ට උවමනා පරිදි ය. එහෙම හිතා සිත සනසා ගැනීම කෝකටත් සුබදායක ය. පැලවත්තෙ “දෙයියො” කරන්නේ “වැඳ පුදා ගත් දේවාලයේම මලපහ කිරීම” ය.
“වෙහෙර ගිල්ල” පැලවත්තේ අයියලාට “අග්ගලාව” කජ්ජක් ද කියා හිතෙන එක පුදුම නැත. “කන බොන පිඟානටම කැත කිරීම” උන්දැලාගේ හැටි ය.
මේවා නොතේරෙන්නේ දෙවියන්ටත් දෙයියන්ගෙ නොවෙන, වසන්ත සමරසිංහ ඉන්දියාවෙන් ගෙන්වා ගාන කැපූ රට හාල්වත් කැවිලා ද කියා අපට තේරෙන්නේ නැත.
කොහොම උනත් කංජිපානි, “දෙයියෝ” සහ “දෙහිබාලා” දෙයියෝ ප්‍රශ්නය විසඳනතුරු අප සිටිය යුත්තේ සුවෙන් සැතපිලා ය. කයියො දෙයියො ඉන්න තැන් අල්ලා ගත්තම වෙන්නේ මේවා ය.
