October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාව නැවතත් දැවැන්ත සමාජ සහ ආර්ථික අර්බුදයකට ? කළු ආර්ථිකයේ භයානක ව්‍යාප්තිය ගැන සවුත් ඒෂියා මොනිටර් වෙතින් රතු එළියක් !

1 min read

රට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් මිදෙමින් පවතින බව බාහිරින් පෙනෙන්නට තිබුණද, යටින් දිවෙන කළු ආර්ථිකය (Underground Economy) සහ දූෂණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ‘South Asia Monitor’ වෙබ් අඩවියේ නවතම විශ්ලේෂණාත්මක වාර්තාවක් මගින් හෙළිදරව් කර සිටිනවා. සාමාන්‍ය ජනතාවගේ වැටුපට සාපේක්ෂව නිවාස කුලී අනුපාත සැසඳීමේදී 2025 වසරේදී ලොව දෙවනුවට මිල අධිකම නිවාස වෙළෙඳපොළ සහිත රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේද මෙම කළු ආර්ථිකයේ සහ දූෂණයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසයි.

රට තුළ ඩිජිටල් ගෙවීම් භාවිතය ඉහළ ගොස් තිබියදීත්, අසාමාන්‍ය ලෙස භෞතික මුදල් නෝට්ටු සංසරණය වැඩිවීම මෙහි ප්‍රධානම අනතුරු අඟවන සංඥාවයි. 2026 පළමු කාර්තුව වන විට සංසරණය වන මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7ක වාර්තාගත ඉහළම අගයකට ළඟා වී ඇති අතර, එය 2023 අවසානයට සාපේක්ෂව 42%ක දැවැන්ත වර්ධනයකි. මීට අමතරව 2024 සිට 2026 දක්වා කාලය තුළ කොටස් ආයෝජන ලෙස පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් රටින් පිටව ගොස් ඇත්තේ පෙර පැවති වසර 5 සාමාන්‍ය මෙන් හතර ගුණයක වර්ධනයක් සටහන් කරමිනි.

ජනප්‍රිය පුවත්  ආරක්ෂාව අනතුරේ! මහජන උත්සව ගැන බියෙන්!

තවත් බරපතල කාරණයක් වන්නේ නීතිවිරෝධී ලෙස උපයන කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සඳහා සුඛෝපභෝගී දේපළ ක්ෂේත්‍රය මෙවලමක් කරගැනීමයි. සමස්ත නිවාස සංකීර්ණ අලෙවියේ පසුබෑමක් තිබුණද, අති සුඛෝපභෝගී නිවාස (Luxury Condominiums) සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 2026 පළමු කාර්තුවේදී අලෙවි වූ නිවාස ඒකකවලින් 52%ක්ම අති සුඛෝපභෝගී නිවාස වන අතර, පසුගිය වසරේ එය පැවතියේ 33%ක් ලෙසයි.

මෙම අසමබරතාවය හේතුවෙන් රටේ සමස්ත ධනය සුළු ප්‍රභූ පිරිසක් අතර පමණක් කේන්ද්‍රගත වෙමින් පවතින අතර, මහජනතාව අධික දරිද්‍රතාවය සහ රැකියා වියුක්තිය හමුවේ පීඩා විඳිති. දැනටමත් මෙරට දරිද්‍රතාවය 25% ඉක්මවා ඇති අතර උගත් තරුණ රැකියා විරහිතභාවය 43% ඉක්මවා ඇත. මෙලෙස දිනෙන් දින ඉහළ යන ආදායම් විෂමතාවය සහ අසාධාරණය, ඉදිරියේදී මෙරට තුළ නැවතත් දැවැන්ත මහජන හා සමාජ නොසන්සුන්තාවයකට පාර කපන බව මෙම වාර්තාව දැඩිව අවධාරණය කරයි.

  • ජගත් ශ්‍රී පටබැඳී
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x