එන්නැලිගොඩ නඩුවේදී සුරේෂ් සලේ විවෘත අධිකරණයේ කළ සංවේදී ප්රකාශය
1 min read
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධිය පිළිබඳ නඩුව සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන විනිසුරු මඩුල්ල හමුවේ කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැණින.
මීට පෙර සාක්ෂි ලබා දුන් සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි නමැත්තාගෙන් සාක්ෂි විමසීම යළි ආරම්භ කෙරුණු අතර, විත්තියේ නීතිඥ අසිත් සිරිවර්ධන ඔහුගෙන් හරස් ප්රශ්න විමසීය. එහිදී මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ සමඟ පැවති මිතුරුකම පිළිබඳව වේලුපිල්ලේ ප්රභාකරන්ට නොපැවසූ නමුත්, තමිල්චෙල්වම්, ඥානවේල් සහ පොට්ටු අම්මාන් යන අයට පැවසූ බව සාක්ෂිකරු පිළිගත්තේය.
මිසයිල ප්රහාර එල්ල කර රාජ්ය නායකයා විනාශ කළ යුතු බවට හබරණදී කතා වන විට රටේ රාජ්ය නායකයා වූයේ මහින්ද රාජපක්ෂ බවත්, අදාළ ප්රකාශයට පෙර පොට්ටු අම්මාන්ට එක්නැලිගොඩ පිළිබඳ ප්රකාශ කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේය. තවද එක්නැලිගොඩ අතුරුදන් වූ බව තමන් දැනගත්තේ කඳවුරක සිටියදී බඩු ඔතා තිබූ කොළයක තිබූ ඡායාරූපයකින් බව ද ඔහු පැවසීය.
අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා විසින් කරන ලද ප්රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු ප්රකාශ කළේ,
“මමයි, නාදන් සරුයි, එක්නැලිගොඩයි කතා කරමින් සිටියදී යුද්ධය අවසන් වුවත් සියලු ප්රශ්න අවසන් නොවන බවත්, ජනාධිපති සහ ඇමතිවරුන් එක ගුවන් යානයක යන විට මිසයිලයක් ගැසූ විට සියල්ල අවසන් බවත් එක්නැලිගොඩ පැවසූ” බවයි. එය එක්නැලිගොඩ උදාහරණයක් වශයෙන් පැවසූ කතා විලාශයක් බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
ඉන් අනතුරුව, නඩුවේ 90 වැනි සාක්ෂිකරු වන රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විශේෂ ආරක්ෂාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි. නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා නැඟූ ප්රශ්න හමුවේ සාක්ෂි දුන් සුරේෂ් සලේ සඳහන් කළේ, බුද්ධි සේවයේ දුරකථන නිකුත් කිරීම අණදෙන නිලධාරීන්ට හෝ ඒකකවලට සිදු කරන බවත්, ඒ සඳහා වෙනම නිලධාරියෙකු සිටින බැවින් අධ්යක්ෂවරුන් ඊට සම්බන්ධ නොවන බවත්ය. අධිකරණය හමුවේ පෙන්වූ ලේඛනයක බුද්ධි අධ්යක්ෂගේ නිර්දේශ සඳහන් නොවන බවත්, එවැනි ආකෘතියකින් ලියකියවිලි නිකුත් නොකරන බවත් ඔහු පැවසීය.
වසර 38 ක් ඉතා කාර්යබහුල හා වගකීම් සහගත සේවයක නිරත වුව ද කිසිදු ඇගයීමක් නොලැබීම පිළිබඳව කනගාටු වන බව ප්රකාශ කළ සුරේෂ් සලේ, බුද්ධි නිලධාරීන්ගේ දුරකථන අස්ථානගතවීම් සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ල විමසූ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ, ජීවිත ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා බුද්ධි නිලධාරීන්ගේ දුරකථන ලියාපදිංචි කරන්නේ වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් බවයි.
කරුණු සලකා බැලූ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල, 53 සිට 58 දක්වා වන සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරමින් නඩුව ලබන ඔක්තෝබර් 22 වනදා දක්වා කල් තැබීය.
