කොටි ඩයස්පෝරාවට පලාලි ගුවන් තොටුපොල ! යුද හමුදා ඒකාබද්ද මූලස්ථානය ඉවත් කෙරේ !
1 min read
දෙමළ ඊළාම් කොටි සංවිධානයට අයත් ඩයස්පෝරාව, යාපනයේ පලාලි ගුවන්තොටුපොල ජාත්‍යන්තර මට්ටමේ ගුවන්තොටුපොලක් මට්ටමට සංවර්ධනය කිරීම සඳහා තම අරමුදල් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව අපගේ ආරංචි මාර්ග අණාවරණය කරයි.
ජනාධිපති අනුර කුමාර තමන්ට එකඟ වී ඇති පරිදි, ඊට පෙර යාපනයේ යුද හමුදා ඒකාබද්ධ අණ දෙන මූලස්ථානය ඉවත් කරනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටින බව අපගේ ආරංචි මාර්ග අවධාරණය කරයි. උතුරේ ජනතාවට අයත් ඉඩම් ඔවුන්ට ලබා දීම යන පාඨයට මුවා වී සෙසු යුද හමුදා කඳවුරු තවදුරටත් ඉදිරි කාලය තුළ ඉවත් කිරීම මෙම සැලසුම් එක් කොටසක් වේ. අවසානයට ඉවත් කිරීමට සැලසුම් කර ඇත්තේ පලාලි යුද හමුදා ඒකාබද්ධ අණ දෙන මූලස්ථානය වන අතර, එය සිදුකිරීමට නියමිතව ඇත්තේ පලාලි ගුවන්තොටුපොල ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් දක්වා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හුවා දක්වමින් බව අපගේ ආරංචි මාර්ග අවධාරණය කර සිටී. එය ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් බවට පත් කිරීමට අවශ්‍ය මුදල් LTTE ඩයස්පෝරාව විසින් ආයෝජනය කර එහි කළමනාකරණය ඔවුන් අතට ගැනීම මෙහි මුඛය අරමුණ වී තිබේ.
එම ඩයස්පෝරාවේ උවමනාවට අනුව අදාළ සංවර්ධනයට පෙරාතුව, ඒ සඳහා වන අවශ්‍යතාව හුවා දැක්වීම සඳහා බ්‍රිස්ට් එයාර්වේස් ගුවන් සේවාව හරහා පලාලි ගුවන් තොටුපොලට මගී ගුවන් වාරයක් ඇරඹීමට ද මේ වන විට සැලසුම් කර තිබේ. LTTE ඩයස්පෝරාවේ මුදල් බලයෙන්, එම අවශ්‍යතාව පිළිබඳව පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ගැරත් තෝමස් ඒ පිළිබඳ පෙත්සමක් ද ඉදිරිපත් කර තිබිණි.
මෙම පෙත්සම මඟින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරත් තෝමස් පෙන්වා දී තිබුණේ, දැනට යාපනය බලා යන මගීන්ට ලන්ඩන් සිට කොළඹට පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 400 ක් පමණ දුරක් (පැය 6-7ක් තිස්සේ) මාර්ග හෝ දුම්රිය මාර්ගයෙන් ගමන් කිරීමට සිදුව ඇති බවය. මෙම අමතර ගමන වයෝවෘර්ධ සංචාරකයින්ට, කුඩා දරුවන් සිටින පවුල්වලට සහ හදිසි පවුලේ කටයුතු (විවාහ මංගල්‍යය, අවමංගල්‍ය ආදී) සදහා පැමිණෙන අයට විශාල අභියෝගයක්ව ඇති බවය. එමෙන්ම මෙමගින් බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවට උතුරු පළාතේ සිටින, තම ඥාතීන් සමග පවතින පවුල්, සංස්කෘතික සහ ප්‍රජා සබඳතා ශක්තිමත් කරගත හැකිවනු ඇති බවය. සෘජු ගුවන් ගමන් මගින් උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය, මුදල් ආයෝජනය සහ සමස්ත ආර්ථික සංවර්ධනය ඉහළ නැංවිය හැකි බවද එහි පෙන්වා දී ඇත.
එය වාණිජමය වශයෙන් වටිනා ක්‍රියාවක් ලෙස බ්‍රිස්ට් එයාර්වේස් ගුවන් සමාගමට ඒත්තු ගන්වා ඇත්තේ, යාපනයේ දෙමළ වැසියන් පමණක් යුරෝපය පුරා ලක්ෂ 10 කට වඩා වාසය කරන බව පෙන්වාදෙමිනි.
මේ සදහා ජනාධිපති අනුර කුමාර පූර්ව එකඟතාව ලබාදී ඇති අතර, බ්‍රිස්ට් එයාර්වේස් ගුවන් සමාගම යාපනයේ පලාලි ගුවන්තොටුපොලට ගුවන් ගමන් වාර ඇරඹීමෙන් පසු, එය ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් බවට පත් කිරීම සඳහා පුද්ගලික ආයෝජකයන්ගේ උනන්දුව විමසීමට මේ වන විටද සැලසුම් කර තිබේ.
ඉන් අනතුරුව යාපනයේ යුද හමුදා ඒකාබද්ධ අණ දෙන මූලස්ථානය ඉවත් කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වී තිබේ. මෙය 2028 ට පෙර සිදු කිරීමට නියමිත බව අපගේ ආරංචි මාර්ග අවධාරණය කරයි.
- ලක්‍ෂ්මන් රුබේරු
