රනිල්ගේ සංචාරය ගැන ආණ්ඩුව විමසිල්ලෙන් !
1 min read
පසුගිය ජූලි 27 වැනිදා භූතානයේ පෞද්ගලික සංචාරයක නිරත වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 2 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඔහු භූතානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ජූලි 01 වැනිදා නවදිල්ලි නුවර විශේෂ සාකච්ඡාවකට සහභාගි වී තිබේ. මෙම නවදිල්ලි නුවර සිදුකෙරුණු සාකච්ඡාව පිළිබඳව තොරතුරු සොයාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය බුද්ධි ප්‍රධානින්ට විශේෂ මෙහෙයුමක් බාර දී ඇතැයි අප වෙත වාර්තා වී තිබේ.
අපගේ ආරංචි මාර්ග පවසන්නේ, ජූලි 01 වැනි දා දහවල් ආහාරය, හිටපු ජනාධිපතිවරයා ගනු ලැබුවේ නවදිල්ලි උප ආණ්ඩුකාර විනායි කුමාර් සක්සේනාගේ නිවස වන “ලෝක් නිවාස්” (Lok Niwas) හී දී ය. උප ආණ්ඩුකාරවරයා තම X ගිණුම හරහා ද මෙම හමුවීම පිළිබඳව ප්‍රසිද්ධ කර තිබුණි.
නමුත් එදින සන්ධ්‍යාවේ, “ලෝක් නිවාස්” සිට පිටත්ව ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප්‍රකට ස්ථානයක දී කිසියම් විශේෂ ඉන්දියානු බලධාරියකු මුණගැසී තිබේ. ජනාධිපති අනුර කුමාර තොරතුරු සොයමින් සිටින්නේ එම හමුවීම පිළිබඳව ය. නවදිල්ලියේ වන ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරින් ද එම ගමන පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බව විදේශ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
අපගේ ආරංචිමාර්ග අනුව, හිටපු ජනාධිපතිවරයා රහසිගතව හමුවී ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක උපදේශක, අජිත් දෝවාල් ය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය හා නව වර්ධනයන් පිළිබඳව මෙහිදී ගැඹුරින් සාකච්ඡා වී ඇතත්, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු අණාවරණය වී නැත.
මේ වන විට, ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදය අතරවන රාජ්‍යතාන්ත්‍රික සබඳතා ද පෙර පැවැතියාට වඩා තරමක් අඳුරු තත්ත්වයකට පත්ව තිබේ. “කැරපොතු ජනතා ව්‍යාපාරය” හරහා ඇති කරන ලද තරුණ නැගීසිටීම පිටුපස වූයේ ඇමරිකානු හස්තය බව ඉන්දියානු බුද්ධි අංශ මේ වන විට තහවුරු කළ හැකි පරිදි කරුණු අණාවරණය කරගෙන තිබේ.
පසුගියදා දිල්ලියේ පැවති රයිසිනා සංවාදයේ දී අදහස් දක්වමින් එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපල් ලැන්ඩෝ සිදුකළ ප්‍රකාශය මගින් ද දෙරට අතර වර්ධනය වන දේශපාලන ආතතිය එළියට විවෘත වී තිබේ. ඔහු එහිදී ප්‍රකාශ කළේ “ඉන්දියාව ඉන්දු – පැසිෆික් කලාපය තුළන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන හවුල්කරුවෙකු වන නමුත්, එහි සීමාවන් පවතී. මීට දශක දෙකකට පෙර චීනය සම්බන්ධයෙන් සිදුකළ එම වැරදීම ඉන්දියාව සම්බන්ධයෙන් ඇමරිකාව නැවත සිදු නොකරන බව” ඉන්දියාව තේරුම් ගත යුතුය.
පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි 30) ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙමගින් අදහස් කර ඇත්තේ “චීනයට වැඩෙන්න ඉඩ දුන් වරද ඉන්දියාව සම්බන්ධව ඇමරිකාව සිදු නොකරන” බවය. මෙයට වහාම ප්‍රතිචාර දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් කියා සිටියේ අතීතයේ ඇමරිකාව සිදු කළ වැරදි හෝ බාහිර සීමාවන් මත ඉන්දියාවේ ඉදිරි ගමන තීරණය නොවන බවය. “ඉන්දියාවේ නැගී සිටීම තීරණය වන්නේ ඉන්දියාව සහ අපගේ ශක්තිය මතයි. අනෙක් අයගෙ වැරදි මත නොවේ.” යනුවෙන් ද පවසන ලද ඔහු ඇමරිකානු උප රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දුටුවේ ය.
මෙහිදී, වර්ධනය වන ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වන පරතරය, ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේග ආණ්ඩුව හා ඇමරිකා එක්සත් ජනපදය අතර වන දැඩි මිත්‍රත්වය දෙස ද පෙරට වඩා සැකකටයුතු ලෙස බලන තත්ත්වයකට ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රිකයන් හා බුද්ධි අංශ පත්ව තිබේ. ජනාධිපති අනුර කුමාරගේ දැඩි සැලකිල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නවදිල්ලි අප්‍රකට හමුව කෙරෙහි යොමුව ඇත්තේ වර්ධනය වන මෙම කලාපීය භූ දේශපාලන සබඳතාවන්ගේ වෙනස්වීම් ද හේතුකොටගෙන ය.
හිටපු ජනාධිපතිවරයාගේ ඇත්ත සංචාරය වූයේ නවදිල්ලිය වුවත්, එය පිටතට නිරාවරණය නොවන පරිදි මුහුනත සංචාරය ලෙස භූතානය යොදාගත් බව බුද්ධි අංශ ප්‍රධානින්ගේ මතය වී තිබේ.
- තාරුකා මුදලිගේ

එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපල් ලැන්ඩෝ

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්
