22 ගොඩදාන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩු පුරවයි !
1 min read
දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනගේ විශ්‍රාම කාලය වසර 2 කින් දිගු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන එනු ලැබ තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමට පෙර, එහි පවතින පුරප්පාඩු 4 කඩිනමින් පිරවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
“සූරසේන රී ලෝඩය” ලෙස හැඳින්වෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචාරණයකට ලක් කිරීමට තුඩු දිය හැකි ප්‍රබල නීතිමය පදනමක් පවතින බැවින්, එම වෑයම පැරදවීම අරමුණු කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු පිරවීම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව වී තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සෘජුවම ප්‍රතිලාභ ලැබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ට හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්ට වන බැවින්, ප්‍රතිලාභ ලබන අයම එම ප්‍රතිලාභය ලබා දෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය යුතු ආකාරය තීරණය කිරීම මෙරට අධිකරණ ඉතිහාසයේ බලවත් අර්බුදයක් නිර්මාණය කරන්නකි. ඒ හේතුව මත මීට අදාළ පෙත්සම් ඉදිරිපත් කරන පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 09 හෝ 11 හෝ ඊට වැඩි (පූර්ණ විනිසුරු මඩුල්ලක්) මෙම විභාගය සඳහා ඉල්ලා සිටීමේ අවධානමක් පවතින බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.
දැනට “සූරසේන රී ලෝඩයට” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් පක්ෂව සිටින්නේ තිදෙනකු පමණක් වන නිසා විනිසුරුවන් 07, 09 හෝ 11 වැනි සංඛ්‍යාවකගෙන් අදාළ පෙත්සම් විභාග කිරීමට සිදුවීමේ හැකියාව මෙහිදී සලකා බලා තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ ආරංචිමාර්ග අප වෙත පවසා සිටින්නේ, ඉතිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු 4 පිරවීම සිදුකරනු ඇති බවයි.
ඒ සඳහා යෝජනා වී ඇත්තේ දැනට අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස ක්‍රියා කරන ආධිත්‍ය පටබැඳි හා රෝහිත ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවන් ය. මේ දෙදෙනාම අභියාචනාධිකරණ විනිසුරුධූරයට උසස් කෙරුණේ 2025 ජනවාරි 9 සහ ජූනි 19 යන දිනවල ය.
ඉතිරි පුරප්පාඩු 2 න් එකක් සඳහා තීරණය කර ඇත්තේ, දැනට ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් බවට සුදුසු නීතිඥයන් පත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ප්‍රකාරව මෙය සිදුකිරීමට නියමිතව ඇත.
ඉතිරි පුරප්පාඩුව සඳහා ද එපරිද්දෙන්ම පත් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ ය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නැමැති අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා වූයේ ද මෙම වැලි අමුණ ය. එමෙන්ම, ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන රාජ්‍ය වත්කම් සහ දූෂිත මුදල් නැවත මෙරටට ලබා ගැනීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වූයේ ද මොහුයි. මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ජේ.සී. වැලිඅමුණ මෙම තණතුර බාර ගැනීම සඳහා ලංකාවට පැමිණීමට ජනාධිපතිවරයාට එකඟත්වය ලබා දී ඇත.
මෙම හතරදෙනාම, දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දරණ මතයට පක්ෂව ක්‍රියා කරනු ඇති බැවින් 07 ක, 09 ක හෝ 11 ක විනිසුරු මඩුල්ලක් හමුවට අදාල පෙත්සම් ඉදිරිපත් කළ ද ජනාධිපතිවරයාට අවශ්‍ය තීරණය ලබා ගත හැකියැයි මෙමගින් බලාපොරොත්තු ඵල කර තිබේ.
- භූපති රන්දෙනිය
