අතිරික්තය ලොකුද ? මෙන්න හේතුව !
1 min read
2026 වසරේ මුල් මාස 5 තුළ රුපියල් බිලියන 197.34 ක සමස්ත අය-වැය අතිරික්තයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. මෙය ආණ්ඩුවේ මැති-ඇමතිවරු හුවා දක්වන්නේ දූෂණය නැති කිරීම මගින් වෙනදා සිදු වූ රජයේ මුදල් නාස්තිය දැන් සිදු නොවන නිසා මෙම අතිරික්තය ඇති වී ඇති බවයි. මෙය සම්පූර්ණ නොමඟ යැවීමක් බව අපගේ ආර්ථික විශ්ලේෂණ අංශය අණාවරණය කරගෙන තිබේ.
සැබෑ ලෙසම මේ සඳහා බලපා ඇත්තේ හේතු 2 කි. එම හේතු දෙකෙන් එකක් වන්නේ (මෙය ආණ්ඩුව ද පවසන කරුණකි) රජයේ බදු ආදායම ඉහළ යාමයි. භාණ්ඩාගාරයේම දත්ත අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව ඔවුන්ගේ වාර්ෂික ආදායම් ඉලක්ක අභිබවා යමින් බදු ආදායම 23.9% කින් ඉහළ නංවාගෙන තිබේ. නමුත් මේ ඉහළ නංවා ගැනීම සිදුකර ඇත්තේ, සමාජයේ විවිධ ස්ථර වල ආර්ථිකයට සම්බන්ධ පිරිස් බලවත් පීඩනයකට ගොදුරු කරමිනි.
මෙම අතිශය පීඩාකාරී බදු නිලධාරිවාදය මත, දැනටම මෙරට පවතින ව්‍යාපාරික ආයතන රැසක්, සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වෙනත් රටවල් වලට රැගෙන යාමට තීරණය කර තිබේ. වක්‍ර බදු පරිමාව ද දරුණු ලෙස පුළුල් කර ඇති බැවින්, මෑතකදී නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක බැංකු වාර්තාව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් ඒකක වලින් 32.8% ක් (තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්) මධ්‍යස්ථ හෝ දැඩි ආහාර අහේනියෙන් (කුසගින්නෙන්) පීඩා විඳින බවයි. එමෙන්ම එම වාර්තාව පෙන්වා දී ඇත්තේ මෙරට දෛනිකව ගන්නා ආහාර වේලෙහි ප්‍රමාණය අඩු කිරීමට හෝ ප්‍රියනොවන ලාභදායි ආහාර ලබාගැනීමට පවුල් වලින් 51% ක් (අඩකට වඩා වැඩි ප්‍රමාණයක්) කටයුතු කරන බවයි. ළමා මන්දපෝෂණය ද වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 31% කට (තුනෙන් එකකට) උරුම වී ඇති බවද එම වාර්තාව පෙන්වා දේ.
2019 වසරට සාපේක්ෂව නාගරික ප්‍රදේශවල දුප්පත්කම තෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී ඇත.
එබදු තත්ත්වයක් යටතේ බදු වලට යටත්ව නොතිබුණු ආර්ථික කලාප පවා බදු ග්‍රහණයට නතු කරගනිමින්, සමස්ත සමාජයම දුකට පත් කර උපයාගෙන ඇති බදු ආදායම ඉහළයාම ද මේ භාණ්ඩාගාර අතිරික්තයට හේතු වී තිබේ.
ආණ්ඩුව සඟවන, මෙම අතිරික්ත කතාවට අදාළ වන ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ, අය-වැය මගින් රටේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන “ප්‍රාග්ධන වියදම්” සම්පූර්ණයෙන්ම උපයෝගී කරනොගෙන එයින් සෑහෙන ප්‍රමාණයක් නැවත මහා භාණ්ඩාගාරය වෙතම ගලා ඒමයි.
2026 වසරේ වෙන් කර ඇති, රුපියල් බිලියන 1380 ක ප්‍රාග්ධන වියදම් වලින් වසරේ මැද භාගය වන විටත් වැය කර තිබුණේ 17.4% ක් (රු. බිලියන 240 ක්) වැනි ඉතා අඩු ප්‍රතිශතයකි.
මෙයට හේතු වී ඇත්තේ රාජ්‍ය නිලධාරින් කෙරෙහි බලපා ඇති දේශපාලන හේතුය. අනාරක්ෂිත බව ඔවුන් කෙරෙහි තදින් බලපා තිබෙන අතර, ප්‍රාදේශීය මට්ටමේ ජ.වි.පෙ. මහජන නියෝජිතයන් වෙතින් හා වෙනත් ක්‍රියාකාරිකයන් වෙතින් රාජ්‍ය නිලධාරින් වෙත එල්ල වී ඇති පෙර නොවූ විරූ පීඩනය ද මේ සඳහා බලපා තිබේ.
මෙලෙස ප්‍රාග්ධන මුදල් නිසි පරිදි වැය නොකිරීමෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ සංවර්ධනය ඇණ හිටීම හා එමගින් සමාජය තුළට රජයෙන් ගලා යා යුතු මුදල් ප්‍රවාහය ගලා නොයාම ය. දිගුකාලීන සංවර්ධන අවශ්‍යතා සඳහා යෙදවිය යුතු මුදල්, නැවත භාණ්ඩාගාරයට හරවා එවීමෙන් ඊනියා අතිරික්තයක් ඇති වනු ඇති වුවත් එමගින් ආර්ථික වර්ධනය බරපතල ලෙස බිඳ වට්ටනු ලබයි.
- ආර්ථික විශ්ලේෂණ අංශය
