August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නූතන උප්පලවන්නා සහ තවත් කතා…

1 min read

මේ ඡායාරූපයේ ධර්ම දේශනාව සිදු කරන කාන්තාව කවුදැයි අප සෙව්වේ නැත. ඇය දෙසන බණ මනරම්දැයි අප සෙව්වේ නැත. ගිහියකු වූ ඇය පහසු අසුනකට බර වී දෙසන බණ අසන්නට පැවිදි භික්ෂූන් වහන්සේ මෙලෙස බිම එරමිනියා ඔතාගෙන සිටින්නේ කුමන හේතුවකට දැයි අපට තේරෙන්නේ නැත.

මේ කිසිවක් නොතේරෙන අපට එක දෙයක් නම් හොඳටම තේරෙන්නේය. ඒ, එක එක විදියට සසුනට කෙළවීම යටින් ලෙසටම සිදුවන බවය. මේ ඡායාරූපය ඒ බව අපට කියන එක උදාහරණයක් පමණ ය.

කොසොල් රජතුමා දුටු සිහින දහසයේ අරුත් කියවාදුන්නේ බුදුරජාණන්වහන්සේ ය. ඒවා බෞද්ධ සාහිත්‍යයේ ඇතුළත්ව ඇත්තේ “මහා සුපින ජාතකය” ලෙසය.

ඒ සිහින අතර වූ එක සිහිනයක කොසොල් රජු දුටුවේ “බර කරත්තය ඇඳීමට පළපුරුදු ලොකු ගවයන් සිටිය දී නොමේරූ තරුණ වස්සන් කරත්තයට බැඳීම නිසා කරත්තය ඇදගත නොහැකිවීමේ” සිදුවීමක් ය. බුදුරජාණන්වහන්සේ එය අරුත්ගැන්වූයේ “රට පාලනය කිරීමට සහ තනතුරුවලට උගත්, පරිණත අය වෙනුවට අත්දැකීම් නැති තරුණයන් පත් කිරීමෙන් රට අගාධයට යාම” කියාය. වෙන විදිහකට කියන්නේනම්, මෙමගින් කියන්නේ අනාගතයේ වැඩේ වෙන්නේ රුයිතෙට කියාය.

කොසොල් රජු දුටු තව හීනයක වූයේ “සාමාන්‍යයෙන් දියේ පාවෙන වියළි ලබු ගෙඩි, ගල් මෙන් දියේ ගිලී යාම” ය. ආධාර්මික සමාජයක ගුණවතුන්ගේ වචන පිළිනොගෙන, නූගතුන්ගේ සහ දුස්සීලයන්ගේ වචන සමාජය විසින් ඉහළින් පිළිගන්නා අනාගතයක් ගැන එයින් කියැවෙන බව වදාළේ ගෞතම බුදුරජාණන් වහන්සේය. එමඟින් කියන්නේ ද වැඩේ වෙන්නේ රැයිතෙට කියාය.

ජනප්‍රිය පුවත්  භව තරණය

කොසොල් රජු දුටු 13 වැනි සිහිනය වූයේ දියේ ගිලෙන මහා ගල්පර්වත, ලබු ගෙඩි මෙන් දිය මතුපිට පාවී යාමය. එහි තේරුම වූයේ අනාගතයේ දී ගුණවත්, සිල්වත්, බුද්ධිමතුන් පවසන සත්‍ය කරුණු සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බවය. 16 වැනි සිහිනය වූයේ එළුවන් පිරිසක් රුදුරු කොටි සහ ව්‍යාඝ්‍රයන් පසුපස පන්නා දමන අතර, කොටින් බිය වී සැඟව යාමය. එයින් කියැවෙන්නේ, අධාර්මික පාලකයන් නිසා දුදනන් බලවත් වී, සිල්වත් ගුණවත් මිනිසුන්ට උන්ගේ තාඩන පීඩන මැද නිහැඬව සැඟවී සිටීමට සිදුවන බවය.

අප මේ ගත කරමින් සිටින්නේ කොසොල් රජුගේ සිහින දහසය පෙන්වා දුන් ඒ අනාගතය වර්තමානය කරගෙනය. ඒ හීන වල අරුත බලන බලන අත ඇත්තේ සඵල වී ය. ගිහි ගැහැණියකගේ බණ අසන්නට වූ භික්ෂුන්ගෙන් සමන්විත සසුනක දසුන් අපට පෙනෙන්නේ මේ හින්දා ය.

තේරවාදී සාසන සම්ප්‍රදාය සහ සංස්කෘතිය ආරක්ෂා වී පැවතීම වැදගත් වන්නේ, එය බුදුරජාණන්වහන්සේ වදාළ මූලික ධර්මය සහ විනය උපරිම අයුරින් සුරක්ෂිතව පවත්වාගෙන යන ජීවමාන පදනම වන නිසාය. මේ ජීවමාන පදනම බිඳ වැටුණු කල මූලික බුද්ධ වචනය රැක ගන්නා වෙනත් කිසිවක් මිහිපිට නැත. පැවිදි සහ ගිහි පාර්ශ්වයන් අතර තිබිය යුතු අන්යෝන්‍ය ගෞරවය සහ සීමාවන් මැනැවින් පවත්වා ගෙන යාම වැදගත් වන්නේ මේ නිසාය. එම සීමාවන් මැනවින් පවත්වාගෙනයාම ද අදාළ වන්නේ අප ඉහත කී “ජීවමාන පදනම” ආරක්ෂා කිරීමට අදාළවය.

ජනප්‍රිය පුවත්  ශූන්‍යවාදය !

චිංචි මාණවිකාව බුදුන්වහන්සේට අභූත චෝදනා එල්ල කිරීමට පෙර, සමාජයට පෙන්වූයේ තමන් බුදුදහමට හා ජේතවනාරාමයට දැඩි සේ ලැදි භක්තිමත් උපාසිකාවක් ලෙසය. පසුව ඇය කීවේ “මම ජේතවනයේ බුදුන් වහන්සේ සමග රැය ගත කළෙමි” කියාය. උප්පලවන්නා රහත් මෙහෙණියට දෝහිකම් කළ නන්ද මානවකයාගේ මව ද පෙන්වූයේ මෙහෙණින් වහන්සේලාට දන් පැන් දෙමින් බෙහෙවින් ශාසනයට ලැදි බවය. එහෙත් ඇයට ඇත්තටම අවශ්‍ය වූයේ රහත් මෙහෙණියකගේ ශීලය කෙළසීමට හා සසුන කෙරෙහි ජනතා කලකිරීම ඇති කිරීමට ය.

බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ ද අන්‍ය ආගමික කාන්තාවක් (පරිබ්‍රාජිකාවන්) බුදුන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාවිකාවන් හෝ උපාසිකාවන් ලෙස වෙස්ගෙන බෞද්ධ පිරිස් අතරට රිංගූහ. එහි ද උවමනා වූයේ බුදුදහම හා භික්‍ෂූන්වහන්සේලා කෙරෙහි සැක සංකා සහ වැරදි වැටහීම් සියුම් ලෙස ඇති කර සසුන බිඳ දැමීම ය.

අද සසුන ඇත්තේ ඇතුළතින් ද පිටතින් ද බහුවිධ ප්‍රහාරයට ලක්වය. ආණ්ඩුවේ (ජ.වි.පෙ.) භික්ෂු අංශය වූ “ජාතික භික්ෂු පෙරමුණ” මහ සඟරුවන දඹුල්ලට වැඩම කරවා මේ තර්ජන ගැන කතා කළේ නැත. අඩුම තරමින් එම වේදිකාවේ බුද්ධ ප්‍රතිමාවහන්සේනමක් හෝ වැඩ සිටුවා තිබුණේ නැත. එම භික්ෂු සමුළුවට සහභාගි වූ භික්ෂූන්වහන්සේ සමාජ මාධ්‍ය මගින් ගැරහීමට ලක් වන්නේ නැත. එහෙත්, විපක්ෂයේ දේශපාලනය සමඟ සමපාත වන භික්ෂු වේදිකාවක වැඩ සිටින භික්ෂූන්ට සමාජ මාධ්‍ය මගින් ගරහන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවය. වෙන වෙනම වෙතැයි පෙනෙතත්, මේ වෙන්නේ මූලික බුද්ධ වචනය වන තේරවාදය (ස්ථවිරවාදය) හෙවත් ත්‍රිපිටකය අඛණ්ඩව රැකගත්, ඒ මත ආගමික හා ශාසනික විනය මෙන්ම ශාසනික පිළිවෙල ද නිමවාගත්, එය ඇසුරේ වැඩෙන සමාජයීය හා සංස්කෘතික අනන්‍යතාව බිහිකරගත්, මානසික විනය උපදවන පිරිසුදු ධර්ම මාර්ගය රැකගත් බුදුසසුන සතු කොඳු බිඳලීමය. බලය සිඳලීමය.

ජනප්‍රිය පුවත්  ශිෂ්ටාචාර ජාතියක මහිමය!

බුදුන්වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන්පෑම යන අවස්ථා තුනම එකට සමරනු ලබන වෙසක් පොහොයට වඩා නබිනායකතුමාගේ උපන්දිනය සැමරීම මහ ඉහලින් සිදුකරන රාජ්‍ය නායකයකු ලද රටක බුදුසසුන මේ තර්ජනයට ලක් වීම අසාමාන්‍ය නැත. වෙසක් එකට බකට් පත්තු නොකරන පැලවත්තේ නිරාගමික දෙවොලේ නත්තලට පාට පාට “බල්බ්” සමග නත්තල් ගස් ද හිටවා ඇත්තේ මන්දැයි නොහිතෙන ගොබ්බ සමාජයකට මේ ගැන කියා දීමේ තේරුමක් ද නැත.

සිංහල අළුත් අවුරුද්දට බෙහෙතකටවත් සොයාගන්නට නොහැකි රණවිරුවාට “රණවිරුවා” කියා ගන්නට දිවට පන එන්නේ නැති, පෙරහැරේ යන අලි ඇතුන් පමනක් එයින් වලකා සත්ව හිංසනය තුරන් කළ හැකියැයි සිතන පාලනයක් යටතේ සසුන පමණක් නොව සසුනේ ගිහියා වූ බෞද්ධයා ද අද ඇත්තේ සිය පැවැත්මේ අන්තිම අවධානමට වැටීය. එසේ වූවාට කමක් නැත. මල්ලි අල්ලන්නේ හොරු ය !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x