August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කන්‍යාභාවය ගැන පන්ති පවත්වන දේශපාලන ගණිකාවෝ – විජය දිසානායක

1 min read

රටක් බංකොළොත් වීම යනු එක් පාලකයෙකුගේ, එක් පවුලකගේ හෝ එක් ආණ්ඩුවකගේ සාක්කුවක දමා වසා දැමිය හැකි තරම් සරල කතාවක් නොවේ.

එහෙත් සමාජ මාධ්‍ය යුගයේ ජනමනස හැසිරවීමේ පහසුම ක්‍රමය වී ඇත්තේ සංකීර්ණ ඉතිහාසයක් සරල දුෂ්ටයෙකුගේ කතාවක් බවට පත් කිරීමය. රටක ආර්ථික කඩා වැටීමේ දිගු ක්‍රියාවලියක්, එක පවුලකට, එක නායකයෙකුට හෝ එක ආණ්ඩුවකට පමණක් බැර කර, ජනතාවගේ කෝපය ඒ එක් පුද්ගලයෙකු වෙත යොමු කිරීම දේශපාලනිකව ඉතා පහසුය.

ඒ නිසා අද අප ඉදිරියේ තිබෙන්නේ තවත් ප්‍රශ්නයකි.

රට බංකොළොත් කළේ කවුද?

නැත.

ඊට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ,

රටක් මේ තත්ත්වයට පැමිණියේ කොහොමද?

යන්නය.

🔹නව යටත්විජිතවාදය

යටත්විජිතවාදය යනු විදේශීය බලවතෙකු විසින් රටක් සෘජුව පාලනය කිරීම පමණක් නොවේ. නව යටත්විජිතවාදයේදී ධජය වෙනස් විය හැකිය. පාලකයා වෙනස් විය හැකිය. නමුත් ආර්ථිකය, වෙළෙඳපොළ, ණය, සම්පත්, දේශපාලන බලපෑම් සහ දැනුම වැනි මාර්ග ඔස්සේ දුර්වල රටවල් මත බලය පවත්වා ගැනීම සිදුවිය හැකිය.

එහි භයානකම පැත්ත වන්නේ එය සෑම විටම තුවක්කුවක් අතැතිව පැමිණෙන්නේ නැති වීමය.

විටෙක එය ණයක් ලෙස පැමිණෙයි.

විටෙක ප්‍රතිසංස්කරණයක් ලෙස පැමිණෙයි.

විටෙක “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස පැමිණෙයි.

විටෙක “යහ පාලනය” ලෙස පැමිණෙයි.

තවත් විටෙක “ජනතාවගේ බලය” ලෙසම පැමිණිය හැකිය.

එහෙත් මෙයින් අදහස් කරන්නේ මේ සියල්ල පිටුපස එකම රහස් අතක් තිබෙන බව නොවේ. ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ බලවත් රාජ්‍යයන් තම ආර්ථික හා භූ-දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් දුර්වල රාජ්‍යයන්ට බලපෑම් කළ අවස්ථා ඕනෑ තරම් තිබෙන බවය.

ජනප්‍රිය පුවත්  CID බිඳ වැටීම මතින් පාස්කු ප්‍රහාරයට මගපෑදු "තොරතුරුකරුවන්"

ඒ නිසා අප කළ යුත්තේ සෑම දෙයකම “කුමන්ත්‍රණයක්” සෙවීම නොව, බලය ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමය.

🔹තාක්ෂණය මිනිසා වෙනුවෙන්ද? බලය වෙනුවෙන්ද?

තාක්ෂණය මානව ප්‍රගතියේ විශිෂ්ටතම මෙවලමකි.

එහෙත් ඉතිහාසය අපට තවත් පාඩමක් උගන්වයි.

මිනිසා සොයාගන්නා සෑම බලවත් මෙවලමක්ම මිනිසා නිදහස් කිරීමට පමණක් භාවිතා නොවේ.

මුද්‍රණ යන්ත්‍රය දැනුම බෙදා හැරියේය. එහෙත් සම්ප්‍රචාරණයද බලවත් කළේය.

ගුවන්විදුලිය ජනතාවට හඬක් දුන්නේය. එහෙත් රාජ්‍ය ප්‍රචාරණයේ මෙවලමක්ද විය.

රූපවාහිනිය ලෝකය අපේ නිවසට ගෙන ආවේය. එහෙත් එමගින් ජනමතය හැඩගැස්වීමට අතිවිශාල බලයක්ද ලබා දුන්නේය.

අද සමාජ මාධ්‍ය අප සියල්ලන්ටම ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව දී තිබේ.

එහෙත් ඒ සමඟම, සත්‍යය හා බොරුව එකම වේගයකින් ගමන් කරන ලෝකයක්ද නිර්මාණය කර තිබේ.

ඒ නිසා තාක්ෂණය මිනිසාගේ මිතුරෙක්ද සතුරෙක්ද යන්න තීරණය කරන්නේ තාක්ෂණය නොවේ.

එය අතේ තබාගෙන සිටිමින් තම අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නා බලයයි.

🔹රටක් කඩා වැටෙන්නේ එක දවසක නොවේ.

මම මීට පෙර මෙය ලියා ඇත්තෙමි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරන විට අප බොහෝ විට “2022” යන වසරට ඇඟිල්ල දිගු කරමු.

නමුත් 2022 යනු කඩා වැටීම ආරම්භ වූ වසර නොවේ.

එය දිගු කාලයක් තිස්සේ එකතු වූ දුර්වලතා එකවර පෙනෙන්නට පටන් ගත් අවස්ථාවකි.

රටක් කඩා වැටීම event එකක් නොව process එකකි. එනම් සිදුවීමකට එහා ගිය ක්‍රියාවලියකි.

එය ගෙයක් කඩා වැටීම වැනිය.

ගරා වැටී තිබූ නිවසක අවසානයේ වහලය එකවර බිමට වැටෙයි. නමුත් වහලය වැටීමට පෙර බිත්තිවල ඉරිතැලීම් ඇති වී තිබේ. කණු දුර්වල වී තිබේ. අත්තිවාරමට ජලය කාන්දු වී දුර්වර්ණ වෙමින් පවතී. කාලයක් තිස්සේ කිසිවෙකු ඒවා සරිලන ලෙස අලුත්වැඩියා කර නැත.

ජනප්‍රිය පුවත්  හැබැයි නලින්දත් හොඳ මිනිහෙක්!

වහලය වැටුණු දවසේ එය සිදු කළේ වැස්ස යැයි කියා වැස්සට පමණක් දොස් පැවරිය නොහැක.

ඒ වගේම රටක් බංකොළොත් වූ දවසේ එය කළේ එකම නායකයා යැයි කියා ඉතිහාසය අවසන් කළ නොහැක.

කඩා වැටීමේ ක්‍රියාවලිය හඳුනා නොගෙන කඩා වැටුණු මොහොත පමණක් හඳුනාගැනීම ඉතිහාසය නොව, දේශපාලන ප්‍රචාරණයකි.

🔹අපේ දේශපාලන කන්‍යාභාවය

මෙතැනදී අපේ දේශපාලනයේ අපූරුම විහිළුව මතු වෙයි.

අද අපට කන්‍යාභාවය ගැන දේශන පවත්වන දේශපාලන පක්ෂ තිබේ.

එහෙත් අපට ඉතිහාසය අමතක නැත.

ජනතා විමුක්ති පෙරමුණ 2004දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැඟීය. එම සන්ධානයේ ආණ්ඩුවේ JVP සාමාජිකයන් සිව්දෙනෙක් කැබිනට් මණ්ඩලයටද ගියහ.

ඊට පසු 2010දී ජනාධිපතිවරණයේදී UNP ඇතුළු විපක්ෂ බලවේග සමඟ සරත් ෆොන්සේකාට සහාය දුන්නේය. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පසුව JVP සහ ෆොන්සේකා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (DNA) ගොඩනැඟීය.

2015 යහපාලනය බලයට රැගෙන ඒමෙහිලා ද ජවිපේ සක්‍රීය දායකත්වයක් දැක්වීය.

ඒ නිසා ඉතිහාසය දෙස බලා මට අසන්නට සිතෙන ප්‍රශ්නය මෙයයි.

දේශපාලනයේදී කවුරු කා සමඟ දීග කෑවාදැයි ජනතාවට මතක නැති කරවීමට උත්සාහ කරන්නේ ඇයි?

අද “අපි කවදාවත් ඔවුන් වගේ නොවෙමු” කියමින් දේශපාලන පාරිශුද්ධත්වයේ පාඩම් පවත්වන විට, ජනතාවට අතීතයේ සන්ධාන, ගිවිසුම් සහ බල හුවමාරු අමතක කළ යුතුද?

ජනප්‍රිය පුවත්  පුංචි අබේගේ ලොකු වැඩ!

ඒක හරියට…

ජීවිතයේ විවාහ පහක් කරගෙන, හයවැනි විවාහයට පැමිණි මනමාලයාට කන්‍යාභාවය පිළිබඳ දේශනයක් පැවැත්වීම වගේය.

දේශපාලනයේදී සන්ධාන ඇති කර ගැනීම අපරාධයක් නොවේ.

දේශපාලනයේදී ප්‍රතිපත්ති වෙනස් කිරීමද අපරාධයක් නොවේ.

නමුත් ප්‍රශ්නය ඇත්තේ වෙන තැනකය.

තමන්ගේම දේශපාලන ඉතිහාසය මකා දමා, අන් සියල්ලන්ගේ ඉතිහාසය පමණක් ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමය.

එතැනින් තමයි උත්ප්‍රාසය ආරම්භ වන්නේ.

🔹නව යටත්විජිතවාදයේ නවතම ආයුධය ඇතැම් විට හමුදාවක් නොවිය හැකිය.

එය ජනතාව සිතන ආකාරය පාලනය කරන narrative එකක් විය හැකිය.

විශේෂයෙන්ම, රටක සංස්කෘතියට, සාරධර්මවලට නිගරු කරමින්, අතීතය අමතක කළ ජනතාවක් ඉතා පහසුවෙන් පාලනය කළ හැකිය. දළදා කරඩුව ඇතා පිට වැඩමවීම සත්ව ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක් වනේ එබැවිනි.

තමන්ගේ ඉතිහාසය නොදන්නා ජනතාවකට, වෙනත් කෙනෙකු පහසුවෙන් තමන්ගේ ඉතිහාසය ලියා දිය හැකිය.

ඒ නිසා අපට අවශ්‍ය වන්නේ තවත් දේශපාලන ගැලවුම්කරුවෙකු නොවේ.

අපේම මතකයයි.

අපේම විවේචනාත්මක බුද්ධියයි.

අපේම ප්‍රශ්න කිරීමේ හැකියාවයි.

මන්ද අවසානයේ…

රටක් විනාශ කරන්නේ එක පාලකයෙකු පමණක් නොවේ.

එකිනෙකාගේ වැරදි අමතක කරමින්, තමන් කැමති දේශපාලන පක්ෂයේ වැරදි සාධාරණීකරණය කරන සමාජයකි.

ඒ නිසා අද අපි කන්‍යාභාවය ගැන පන්ති පවත්වන දේශපාලනඥයන්ගෙන් එකම ප්‍රශ්නයක් අසමු.

“ඔබේ දේශපාලන විවාහ සහ දීග ඉතිහාසයත් අපිට කියලා දෙන්න. ඊට පස්සේ කන්‍යාභාවය ගැන පන්තිය පටන් ගමු.”

  • විජය දිසානායක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x