හරිනි කට නොහරී ! ජ.වි.පෙ. අත නොහරී !
1 min read
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කිසිදු මතයක් නොදක්වා සිටීමේ තම තීරණය කවර බලපෑමක් මත හෝ වෙනස් නොකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය සමීපතමයන් හමුවේ පවසා තිබේ.
තමන් මෙම සංශෝධනයට විරුද්ද බවත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටි විධායකයේ ග්‍රහණයට නතුවන බවත් ඇය එහි දී පවසා තිබේ.
එම සමීපතම පිරිස අතර, නීති ක්ෂේත්‍රයට අයත් දෙදෙනකු ද සිට තිබේ. මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කෙරෙහි විශ්වාස තබාගෙන එන මෙම සංශෝධනයෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කරන ප්‍රතිඵලම හිමිවනු ඇතැයි සිතීම මුලාවක් බවයි.
සූරසේන විනිසුරුවරයාගේ අතීත භාවිතාව දෙස බැලීමේ දී, ඔහු තමන්ට උවමනා දේ ඉටු කර ගත් පසු ඔහු වැඩියෙන්ම පහර දෙන්නේ තමන්ට උවමනා දේ ඉටු කර දුන් කෙනාට බව ද මෙහි දී අගමැතිනිය පැහැදිලි කර තිබේ.
විපක්ෂය මර්ධනය කිරීමට අධිකරණය පාවිච්චි කිරීම මගින් මුළු මහත් අධිකරණය කෙරෙහි වන ජනතා විශ්වාසය නැතිව යන බවත්, එමඟින් සිදුවන හානිය යළි පිළිසකර කිරීම ඉතා අසීරු විය හැකි බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම අප්‍රකට හමුවීම සිදු වී ඇත්තේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ මහාචාර්යවරයකුට සම්බන්ධ නිවසක දී ය. ඊයේ (27) රාත්‍රියේ වූ මෙම හමුවේ දී ජ.වි.පෙ. ප්‍රධාන පෙලේ නායකයන් සම්බන්ධව ද තමා තුල ඇති වී තිබෙන කනස්සල්ල අගමැතිනිය විසින් හෙළි කර තිබේ.
මේ අතර, අගමැතිනිය 22 වැනි සංශෝධනය පිළිබඳව දක්වන නිහඬ පිළිවෙත පිළිබඳව පැලවත්තේ බලධාරින්ගේ දැඩි අවධානයට ලක්ව ඇතැයි වාර්තා වේ. අමාත්‍ය ලාල් කාන්ත මගින්, අගමැතිනිය 22 සම්බන්ධව දරන ස්ථාවරය වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යාර්ථ වීම පිළිබඳව ද මෙහිදී කතාබහට ලක්ව ඇත.
22 ට එරෙහි පෙත්සම් විභාගයට ගනු ලබන සැප්තැම්බර් 5 සිට ඇරඹෙන “ජනරැලි” සඳහා ද සහභාගිවීමට අගමැතිනියට ආරාධනා කර ඇතත් ඇය ඊට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිබේ. 22 හේතුකොටගෙන ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිව තිබෙන මෙම අර්බුදය සමනය කිරීමට පාර්ශව කීපයක් මේ වන විට උත්සාහ දරමින් සිටී.
- රවීන්ද්‍ර යාපා සිරිවර්ධන
