නීති දමා වත්කම් දේපල තොරතුරු සගවනවා..- පැෆරල්
1 min read
රජය විසින් ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී නව සංශෝධන පනත් කෙටුම්පත මගින් තොරතුරු දැනගැනීමට සහ එම තොරතුරු භාවිත කිරීමට ජනතාවට ඇති අයිතිය බරපතල ලෙස සීමා වන බව පවසමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
2024 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති මෙම සංශෝධන මගින්, තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගන්නා තොරතුරු වෙනත් කාර්යයක් සඳහා භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් ලෙස අර්ථකථනය කර ඇති බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.
මෙය “මහජනයාගේ බලය පාවිච්චි කරන තැනැත්තන් මහජනයාගේ නිරීක්ෂණයට විවෘත විය යුතුය” යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට පටහැනි බව එම සංවිධානය අවධාරණය කරයි.
විශේෂයෙන්ම වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය මෙමගින් අහිමි වන බව එම ලිපියේ සඳහන් වේ.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 88 වන වගන්තියට ගෙන ඒමට යෝජිත සංශෝධන මගින්, වත්කම් ප්‍රකාශවල සංස්කරණය කළ පිටපත් ලබාගැනීම සහ ඒවා ප්‍රසිද්ධ කිරීම සීමා කිරීමට උත්සාහ දරා ඇත.
මෙලෙස තොරතුරු ප්‍රවාහය සීමා කිරීම දූෂණය අවම කිරීමට බාධාවක් වන අතර, දූෂිතයන් නීතියෙන් බේරී යාමට ඇති ඉඩකඩ වැඩි කරන බව පැෆරල් සංවිධානය පවසයි.
මහජන දේපළ හා මහජන බලය ක්‍රියාත්මක කරන පුද්ගලයන් ඒ හරහා අයථා ලාභයක් ලබන්නේද යන්න සොයා බැලීමට ජනතාවට ඇති අයිතිය කිසිසේත්ම සීමා නොකළ යුතු බව එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එබැවින්, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ විනිවිදභාවය තහවුරු වන පරිදි මෙම සංශෝධන පිළිබඳව නැවත සලකා බලන ලෙස පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
