ඇමති හඳුන්නෙත්තිගෙ ඕස්ට්‍රේලියා සවාරිය : වියදම රජයෙන් – වැඩ “මාලිමා”වෙන්
1 min read
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ශ්‍රී ලංකා රජයේ වියදමින් ඕස්ට්‍රේලියාවේ සංචාරයක මේ වන විට නිරතව සිටි. නිල සංචාරයක් ලෙස දැක්වෙන, එහි ප්‍රධානතම කටයුත්ත බවට කියැවෙන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් (Brisbane) නුවර Mercure හෝටලේ දී පැවැත්වීමට නියමිත “Sri Lanka Industries & Investment Forum 2026” සඳහා ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි වීමය.
මෙම සංචාරයට, අමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ සහ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් 28 දෙනෙක් ද එක්ව සිටිති.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අමාත්‍යවරයාගේ සහ එහි සභාපතිවරයාගේ වියදම් පියවනු ලබන බව ද අපගේ විමර්ශකයන් අණාවරණය කරගෙන තිබේ. මෙම සංචාරයට එක්ව ඇති ව්‍යාපාරිකයන් 28 දෙනාගේ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ SLANBC හි සභාපති චන්දන අමරදාස විසිණි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerse) අනුබද්ධ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ව්‍යාපාරික කවුන්සිලයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ චන්දන අමරදාස ය.
රජයේ අරමුදල් ද යොදාගනිමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යෙදී සිටින ඕස්ට්‍රේලියානු සංචාරය මේ වන විට එරට ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගෙන තිබේ. එම පක්ෂයේ ඕස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් සංවිධායක පුබුදු සමරවීරගේ වගකීම සහිතව නිකුත් කර ඇති ලිපියක් මගින් (ජාතික ජන බලවේගයේ මෙල්බර්න්, ඕස්ට්‍රේලියා ශාඛාවෙ ලිපි ශීර්ෂය සහිතව) තෝරාගත් පිරිස් වෙත දන්වා ඇත්තේ “ඉහල පෙළේ” රජයේ නිලධාරින්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමග අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෙල්බර්න් නුවරට පැමිණෙන බවයි.
එමෙන්ම “ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, ජාතික ප්‍රගතිය සහ දිගුකාලීන සමෘද්ධිය සඳහා ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ඉටු කළ හැකි වැදගත් කාර්යභාරය පිළිබඳව” මෙහිදී සාකච්ඡාවට ගැනෙන බවද එම ලිපියේ සඳහන්ව තිබේ.
14 වැනි සිකුරාදා (එනම් අද) සවස 4 සිට 5 දක්වා පැවැත්වෙන එම අවස්ථාවට සහභාගීවීමට පැමිණිය යුතු ස්ථානය ලෙස දක්වා ඇත්තේ Grandeur in Clyde, 30 Matterhorn Drive, Clyde North VIC 3938 යන ස්ථානය ය.
ශ්‍රී ලංකා රජයේ නියෝජිතයකු වශයෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටිය දී, ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයකින්, මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙහි දක්වා තිබෙන ලිපිය මගින් ආරාධනා කිරීම නීති විරෝධී වන්නාක් මෙන්ම සදාචාර විරෝධී ද වේ. මෙවැන්නක් සංවිධානය කළ යුත්තේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මිස, ජාතික ජන බලවේගය මගින් නොවේ. මේ හේතුව මත මෙල්බර්න් හි වාසය කරන බොහෝ වෘත්තිකයන් මෙම හමුවට සහභාගී නොවී සිටීමට ද තීරණය කර තිබේ.
මහජන මුදල් “සාංගික දේපළ” ලෙස සලකා කටයුතු කරන බවට පාරම්බාන ජනාධිපතිගේ ඇමතිවරු එම සිල් පදය රකින්නේ මේ අන්දමට ය.
- දසුන් රාමචන්ද්‍ර

