“වැඩේ කැතයි !” පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති නොකියා කියයි !
1 min read
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත් “සූරසේන රී ලෝඩය” පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය නිරීක්‍ෂණය කිරීමට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරූ මහතා එම නඩු විභාගය අවසන් වීමෙන් පසුව මාධ්‍ය අමතා දෙන ලද ප්‍රකාශය මගින් අදාළ අධිකරණ කාර්යයේ වූ අශෝබන තත්ත්වය පිළිබඳව සියුම් ලෙස සිය අප්‍රසාදය ඵල කර තිබේ.
ඔහු එහිදී මාධ්‍ය හමුවේ පවසන ලද්දේ, පහත සඳහන් ප්‍රකාශයයි.
“මං අද ආවේ මේ නීති කෘත්‍ය බලන්න. අප විසින් සිදුකළ නිරීක්ෂණයන් පදනම් කරගනිමින් අපි වාර්තාවක් සකස් කරනවා. විනිසුරුවරුන් අද දවස පුරාම ඉතා ඉවසීමෙන් යුක්තව මෙම නීති කෘත්‍ය හැසුරුවා. ඔවුන් නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා. කෙසේවෙතත් අවසානයේ සිදුවූ දේ ඉතාමත් කනගාටුදායකයි. පෙත්සම්කරුවන්ට නීතිඥවරුන්ට පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. ඔවුන්ට කිව්වා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකරන්න කියලා. බොහොමයක් අධිකරණ ක්‍රියාවලිවලදී ඒක ඒ තරම් සුලබ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මේ වගේ වැදගත් නඩු වලදී වාචික පිළිතුරුදීමේ අයිතිය සාමාන්‍යයෙන් ලබාදෙනවා. ඉතින් මට හිතෙනවා ඒක හරිම කණගාටුදායකයි කියලා. අපේ අදහස නම් ඔවුන්ට තිබ්බා පිළිතුරුදීමට අවස්ථාවක් ලබාදෙන්න…
මම මෙතන නීතිඥ සංගමයේ සාමාජිකයන්ගෙන් දැනගත් දේ තමයි මෙතන පූර්ණ විනිසුරු මඬුල්ලක් සිටියේ නැහැ. මොකද මේක ඉතාමත් වැදගත් නීති කෘත්‍යයක්. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉන්න ඕන. මට කිව්වා ඔවුන්, ඔවුන්ගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා කියලා. එතන ගැටලූවක් තියෙනවා. ඉතින් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකලේ ඇයිද යන්න ගැන කනස්සල්ලක් තියෙනවා. අග්‍රවිනිශ්චකාරවරයා අසුන් ගත්තද අනෙකුත් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් අසුන් ගත්තේ නැහැ. වෙනත් අධිකරණ පද්ධතීන් හි මෙවැනි වැදගත් නඩුවක් තිබෙන විට අධිකරණයේ ඉහළම නිලධාරින් සිව්දෙනා සාමාන්‍යයෙන් අසුන් ගන්නා බව අපි දන්නවා. දෙපාර්ශ්වය විසින් තර්ක කරනු ලැබූ නඩුවේ හොඳ නරක පිළිබඳ මා අදහස් දක්වන්නේ නැහැ. ඒක අපේ රාජකාරිය නෙමෙයි. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ ඉතාමත් වැදගත් සංකල්පයක්. ඒ නිසා එය ආරක්ෂා විය යුතුයි. සියලූම නීති තර්ක පැත්තකින් තියමු. අධිකරණයේ ස්වාධීනත්වය පළුදූවීමට යම් පියවරක් අරගෙන තියෙනවා නම් එය ඉවත් කළ යුතුයි. එම සැකය දිගටම පවතිනවා නම් නීතිය ගැන තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ…”
පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරූ (Steven Thiru) මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පිහිටි නීතිඥ ආයතනයේ කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරයි. වසර 30 කට වැඩි නීතිඥ වෘත්තිය ජීවිතය තුල ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය, කම්කරු නීතිය සහ වාණිජ නීති ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් හා ප්‍රසිද්ධියක් උසුලයි.
ඔහු මැලේසියානු නීතිඥ සංගමයේ සභාපති ලෙස 2015-2017 දක්වා කටයුතු කර ඇති අතර ආසියා හා ශාන්තිකර කලාපීය නීතිඥ සංගමයේ උපසභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.
ජාත්‍යන්තර මට්ටමින් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හඬ නගන ප්‍රමුඛ නීතිඥයකු ලෙස ඔහු කීර්තියක් හිමිකරගෙන තිබේ.
මාධ්‍ය හමුවේ අදහස් ඵල කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෙත්සම් විභාග අවසානයේ දී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට වාචික ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා නොදී, ඔවුන්ගේ දේශන ලිඛිතව පමණක් ඉදිරිපත් කරන ලෙස දැනුම්දීම අවාසනාවන්ත මෙන්ම අසාමාන්‍ය සිදුවීමක් බවය. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, පුළුල් මහජන සහ වෘත්තීය උපදෙස් ලබා ගැනීමකින් තොරව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට උත්සාහ කිරීම හරහා ශ්‍රී ලංකාව සිම්බාබ්වේ රාජ්‍යය මුහුණ දුන් ආකාරයේ බරපතල අධිකරණ අර්බුදයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි.
ස්ටීවන් තිරූ මහතා සභාපතිත්වය දරන පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතීඥ සංගමය (CLA) තුළ බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුළු රටවල් 56 ක නීතිඥවරුන් සහ විනිසුරුවන් නියෝජනය කරන ප්‍රබලතම ජාත්‍යන්තර සංවිධානයක් වේ. තම සාමාජික රටක අධිකරණයේ ස්වාධීනත්වයට හෝ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ලවන ඕනෑම අවස්ථාවක දී ජාත්‍යන්තර මට්ටමින් ඒ සඳහා සෘජුවම මැදිහත්වීමට සහ ගෝලීය අවධානය යොමු කරවීමට ඔහුට නිල බලයක් හා හැකියාවක් තිබේ.
මීට පෙර, අන්තර්ජාතික අපරාධ අධිකරණයේ (ICC) පැමිණිලි මෙහෙයවන්නාට එරෙහි චෝදනා විභාග කිරීමේ දී පැවතිය යුතු විනිවිදභාවය පිළිබඳව ඔහු ජාත්‍යන්තර විශ්ලේෂණ ඉදිරිපත් කර ඇත. එමෙන්ම, ජාත්‍යන්තර නීතිඥ සංගමය (IBA) වැනි ලොව විශාලතම නීති සංවිධානවල වාර්ෂික සමුළු අමතමින් ගෝලීය මට්ටමින් නීති ක්ෂේත්‍රයට එරෙහිව එල්ලවන දේශපාලන බලපෑම්වලට එරෙහිව ඔහු නායකත්වය සපයා තිබේ.
ඔහුව මැලේසියාවේ නඩුකර විසඳීමේ ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් ඇතුළත් වන ගෞරවනීය “Hall of Fame” ලයිස්තුවට ද ඇතුළත් කර අයෙකි.
ඒ අනුව ඔහුගේ ප්‍රකාශ හුදු පුද්ගලික අදහසක් නොව, ජාත්‍යන්තර නීති ප්‍රජාවක නිල ස්ථාවරය නියෝජනය කරන බව නිතී ක්ෂේත්‍රයේ පොදු පිළිගැනීම වේ. මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳව ඔහු ජාත්‍යන්තරයට දෙන වාර්තා සහ කරනු ලබන ප්‍රකාශ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සහ ප්‍රතිරූපය කෙරෙහි දැඩි ලෙස බලපානු ලබයි.
- දසුන් කුමාරසිරි
