තම නඩුව තමන්ම අහන සූරසේනගේ “හරිම බඩු පහ” මෙන්න !
1 min read
අධිකරණයේ ඉහළ විනිසුරුවන්ගේ විශ්රාම යන වයස වසර 2 කින් ඉහළ දැමීම සඳහායැයි කියමින් ගෙන එනු ලැබ තිබෙන 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විභාගය තමා ඇතුළු විනිසුරුවන් පස්දෙනෙකු මගින් සිදු කිරීමට අගවිනිසුරු, දේවගැති ප්රීති පද්මන් සූරසේන අද ශ්රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට දන්වා තිබේ.
එම දැනුම්දීම ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ මෙසේය.
“මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් රැසක් ගොනුකර ඇත. එම නඩුවලින් සමහරක් සඳහා මැදිහත්වීමට අවසර ඉල්ලා පුද්ගලයන් කිහිප දෙනෙකු ද පෙත්සම් ගොනු කර තිබේ. සියලුම අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මවිසින් පහත සඳහන් විනිසුරු මඩුල්ල පත්කිරීමට තීරණය කරන ලදී.
ගරු අග්රවිනිශ්චකාරතුමා ;
ගරු විනිසුරු අචල වෙංගප්පුලි මහතා ;
ගරු විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ;
ගරු විනිසුරු සම්පත් බී. අභයකෝන් මහතා ;
ගරු විනිසුරු ගිහාන් කුලතුංග මහතා.
“ආණ්ඩුක්රම ව්යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දැනට ගොනුකර ඇති හෝ ඉදිරියේ දී ගොනුකරනු ලබන අනෙකුත් සියලුම පෙත්සම් සමග මෙම පෙත්සම ද විභාග කර තීන්දු කිරීම සඳහා මෙම විනිසුරු මඩුල්ල පත් කරනු ලැබේ.
මෙම පෙත්සම් වලට අදාළ විභාගය පවත්වා අවසන් කිරීමට අධිිකරණයට හැකිවන පරිදි, පෙත්සම්කරුවන්ට සහ ගරු නීතිපතිවරයාට දැනුම් දෙමින්, මෙම පෙත්සම සහ ඉහත සඳහන් අනෙකුත් සියලුම පෙත්සම් 2026.09.01 දින අධිකරණය හමුවේ කැඳවීමට කටයුතු කරන ලෙස රෙජිස්ට්රාර්වරයාට නියෝග කරනු ලැබේ.
ප්රීති පද්මන් සූරසේන
අග්රවිනිශ්චකාර,
2026 අගෝස්තු 31″
අගවිනිසුරු, දේවගැති ප්රීති පද්මන් සූරසේන විසින් ශ්රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට සිදුකර ඇති මෙම ලිඛිත නියෝගයට අනුව, 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට අදාළව ඉදිරිපත්ව ඇති පෙත්සම් හෙට (01) සිට විභාගයට ගැනීමට නියමිතය.
මීට දින 4 කට පෙර The Lanka Underground News අප ප්රධාන පුවත මගින් අණාවරණය කලේ 22 ගැන ඉදිරිපත්ව තිබෙන පෙත්සම් විභාගයට දැනට ශ්රේෂ්ඨාධිකරණයේ සිටින ජ්යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙනා වූ යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන මහත්වරු කිසිසේත් සම්බන්ධ කර නොගන්නා බවය.
එමෙන්ම, එම පුවත මගින් අප අණාවරණය කළ සත් පුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම වඩා සුදුසු බව පසුව තීරණය කර තිබේ. පෙත්සම් විභාග කරන අවස්ථාවේ දී අවශ්ය වුවහොත් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර, පැමිණිලිකාර පාර්ශවයන්ගේ ඉල්ලීමට සවන් දුන් බව පෙන්වීම එහි උපායික අරමුණ වී තිබේ.
අගවිනිසුරු සූරසේන විසින් පත් කර ඇති මෙම විනිශ්චකාරවරුන් අතර දැනට ශ්රේෂ්ඨාධිකරණයේ සිටින ජ්යෙෂ්ඨත්වයෙන් ඉහළ විනිසුරුවන් ගණනාවක්ම දක්නට නැත. යසන්ත කෝදාගොඩ හා දිලිප් නවාස් යන විනිසුරුවන් දෙදෙනාට අමතරව, ජ්යෙෂ්ඨත්වයෙන් තෙවැනි තැන සිටින ශිරාන් ගුණරත්න, සිවුවැනි ස්ථානයේ සිටින ජනක ද සිල්වා යන විනිසුරුවන් දෙදෙනා ද මෙම විභාගය සඳහා යොදා ගැනීමෙන් වැලකී තිබේ.
අපගේ අධිකරණ ආරංචිමාර්ග අනුව, දැනට සිටින 13 දෙනෙකුගෙන් යුත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අතර, අගවිනිසුරු දේවගැති සූරසේනට අවනත විනිසුරුවරු පමණක් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට යොදාගෙන තිබේ. ජ්යෙෂ්ඨත්වය අතින් අන්තිමයාට සිටින විනිසුරු ගිහාන් කුලතුංග ද මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කිරීමෙන්ම මේ බව සනාථ වන බව එම ආරංචි මාර්ග පෙන්වා දේ.
ශ්රේෂ්ඨාධිකරණයේ උපරිම විනිසුරු සංඛ්යාව මේ වන විට 17 කි. එහි වන පුරප්පාඩු 4 ක් පිරවීමෙන් වැළකී සිටින්නේ අගවිනිසුරුට ගැති අභියාචනාධිකරණ විනිසුරුවන්ගෙන් ඒවා පුරවා ගැනීම පිණිස බව ක්ෂේත්රයේ මතය වී තිබේ.
ශ්රී ලංකා නීතිඥ සංගමය තම පෙත්සම් මගින් ඉල්ලා සිටියේ 22 වැනි සංශෝධනයෙන් පළමු ප්රතිලාභය ලබන තැනැත්තා අගවිනිසුරු වන බැවින් ඔහු මෙම නඩු විභාගයට අසුන්ගත යුතු නොවන බවයි. එමෙන්ම පූර්ණ විනිසුරු මඩුල්ලක් ද නඩු විභාගය සඳහා ලබාදිය යුතු බවයි.
එහෙත්, ජනාධිපතිවරයාගෙන් ලැබී ඇති දිරිගැන්වීමෙන් “චූන්” වී සිටින අගවිනිසුරු සූරසේන දේවගැතිවරයා ඒ කිසිදු සදාචාරමය අභියෝගයන් නොසලකා තමාට රාජකාරී කාලය දිගු කර ගෙන, තමාගේම නඩුව තමාට උවමනා ලෙස විභාග කිරීමට තීරණය කර තිබේ. මෙය මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි වන විශ්වාසය හා එහි සදාචාරමය පැවැත්ම බලවත් ලෙස බිඳවැට්ටවීමට හේතුවන තත්ත්වයක් බව නීති විශාරදයින්ගේ මතය වී තිබේ.
- කමල් ලංකාපුර

