October 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

1 min read

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම මධ්‍යස්ථාන (logistics hub) ව්‍යාපෘතියෙන් ‘චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස්’ (China Merchants Port Holdings) සමාගම ඉවත් වී තිබේ.

‘දකුණු ආසියානු වාණිජ සහ සැපයුම් දාම මධ්‍යස්ථානය’ (South Asia Commercial and Logistics Hub – SACLH) නම්වූ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම පිළිබඳව, මෙම චීන වරාය මෙහෙයුම් සමාගම 2026 ඔක්තෝබර් 15 වන දින හොංකොං කොටස් වෙළඳපොළ වෙත ඉදිරිපත් කළ වාර්තාවක් මගින් තහවුරු කර ඇත.

මෙම අවලංගු කිරීමෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් මිලියන 21.9ක වන්දියක් ගෙවීමට ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) එකඟ වී ඇති බව සඳහන්.

මුලින් දකුණු ආසියාවේ විශාලතම සැපයුම් දාම සංකීර්ණවලින් එකක් ලෙස සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය, ‘ඉදිකිරීම-මෙහෙයවීම-පවරාදීම’ (build-operate-transfer) යන පදනම මත වසර 50ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

හොංකොං කොටස් වෙළඳපොළ වෙත ඉදිරිපත් කළ වාර්තාවට අනුව, බාහිර තත්වයන්හි වෙනස්වීම්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පරිසරයේ සහ කාලසටහනේ සිදුවූ වෙනස්කම් මෙන්ම පාර්ශවයන් අතර ඇති වූ වාණිජමය කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය අත්හැර දැමීමට තීරණය කර ඇත.

ජනප්‍රිය පුවත්  නව මහේස්ත්‍රාත්වරු බඳවාගැනීමේ මහා වංචාවක් !

මෙම ව්‍යාපෘතියේ කොටස්වලින් 70%ක් ‘චයිනා මර්චන්ට්ස් පෝට්’ සමාගමේ අනුබද්ධ සමාගමක් වන ‘ෆෝචූන් සෙන්ටර් ගෲප් ලිමිටඩ්’ (Fortune Centre Group Limited) සතුව පැවතිණි. ඉතිරි කොටස්වලින් 15% බැගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සහ ශ්‍රී ලංකාවේ ‘ඇක්සස් ඉංජිනේරියිං පී.එල්.සී.’ (Access Engineering PLC) සමාගම සතු විය.

මෙම කොටස් හිමිකරුවන් තිදෙනා එක්ව ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 37.14ක් ආයෝජනය කර තිබූ අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 26ක් ලබා දී තිබුණේ චීන සමාගමේ අනුබද්ධ ආයතනය විසිනි.

එකඟ වූ වන්දි ගෙවීමේ ගිවිසුම අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දින 30ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 21.905ක මුදලක් ව්‍යාපෘති සමාගම වෙත ගෙවනු ඇති අතර අදාළ අඩු කිරීම් සහ වියදම් පියවීමෙන් අනතුරුව, මෙම මුදල සහ ඉතිරිව ඇති බෙදා හැරිය හැකි මුදල (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.85ක්), කොටස් හිමිකරුවන් අතර ඔවුන් සතු කොටස් ප්‍රතිශතයන්ට අනුකූලව බෙදා දෙනු ලැබේ.

මහල් පහකින් යුත් මෙම යෝජිත සැපයුම් දාම සංකීර්ණය සඳහා 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් ‘උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති’ (Strategic Development Project) තත්ත්වය ලබා දී තිබුණි. ඒ යටතේ ආයතනික ආදායම් බදු සහ ලාභාංශ බදු වලින් වසර 15ක කාලයක් නිදහස් කිරීම ඇතුළු බදු සහන රැසක් හිමිව තිබුණි.

ජනප්‍රිය පුවත්  ජනපතිගේ ගජ මිතුරු ඉෂාරට ඕස්ට්‍රේලියාවෙන් තොප්පියක් !

චයිනා මර්චන්ට්ස් පෝට් සමාගමේ මෙම ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම ව්‍යාපෘතිය සඳහා වෙනත් ආයෝජකයකු සොයාගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් සඳහන්.

  • සමන්ත උඳුපිටිය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x